Quantcast
Channel: Mahamegha » All Time Favourites
Viewing latest article 3
Browse Latest Browse All 74

ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට වන්දනා කළ මැනැව!

$
0
0

මහා පුරුෂයෙක් පිරූ පුණ්‍ය පාරමී බලයෙන් මේ ධරණීමාතාව එක ම කල්පයක් තුළ සිව්වන වරටත් කම්පා වූවා ය. තමන් ව ස්පර්ශ කළ දකුණත අපමණ ශ‍්‍රද්ධා භක්තියෙන් දරා ගත් ඕ තොමෝ සැලී ගියා ය. දස බිම්බරක් සේනා පිරිවරාගෙන, උතුම් වජ‍්‍රාසන භූමියේ හිමිකම කියමින් ගිරිමේඛලා ඇතු පිට නැගී හුන් පාපී මාර තෙමේ බිම ඇද වැටුණේ ඇයගේ කම්පා වීමෙනි. එ් ඇද වැටීම ලොව වෙලා ගත් පාපී බලවේගය ඉක්මවා ගිය මහා ප‍්‍රඥලෝකයේ පහළ වීම සනිටුහන් කරන ලද්දේ ය.

සමාහිත සිතින් පිරිසිඳ දකිමින් දුක ද දුකට හේතුව ද දුක නිරුද්ධ කිරීම ද දුක නිරුද්ධ කරන මාර්ගය ද සත්‍ය ඤණ, කෘත්‍ය ඤණ, කෘත ඤණ වශයෙන් අවබෝධ කොට ගනිමින් එ් ගෞතම සිද්ධාර්ථ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධාභිෂේකයෙන් පිදුම් ලද සේක. දහම් ඇස පහළ විය. ඤණය පහළ විය. ප‍්‍රඥව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. අවිදු අඳුරෙන් වැසී ගත් ලොව ප‍්‍රභාෂ්වර ඤණාලෝකයෙන් ආලෝකවත් විය.

එ් මහා පුරුෂයාණෝ අවසන් සිරුර දරා ගනිමින් මනුලොව වැඩම කළ මොහොතේ මිහිකතගෙන් පැන නැගි සත් පියුමන් සිරිපා කමල් දරා ගත්තේ අපරිමිත පුණ්‍යානුභාවයට පූජෝපහාර පරිද්දෙනි. සතලිස් පස් වසරක් පුරා දම් අමාවෙන් දෙව් මිනිස් ලෝකය සනසාලූ එ් විශාරද ගුණ මුහුදාණන් වහන්සේ පිරිනිවී වැඩි කල්හි ද අනේකවිධ පුද පූජාවන් සිදු කෙරුණේ අග‍්‍රදක්ඛිණ්‍යෙය වූ මහා මුනිඳාණන්ගේ ශ්‍රී නාමයෙනි.

තුන්ලොවක් සුවපත් කරන එක ම එක මහා පුරුෂයාණන් වහන්සේනමකගේ පහළ වීම ද සම්මා සම්බුද්ධාභිෂේකය ද පිරිනිවීම ද සනිටුහන් වූ මේ වෙසක් පුන් පොහෝ දිනය මනුලොව මිනිසුන්ගේ පමණක් නොව දෙව්ලොව දෙවියන්ගේ ද බඹ ලොව බඹුන්ගේ ද සැදැහැවත් පුණ්‍යාභිවන්දනයට ලක් වන්නේ ම ය. ඔවුහු එ් ආජාන්‍යෙය වූ, මහානුභාව සම්පන්න වූ පුරුෂයාණන් වහන්සේට දුර සිට ද වන්දනා කරන්නෝ ය. ළඟ සිට වැඳීම ගැන කවර කථා ද?

‘‘දූරතෝ’ව නමස්සන්ති
මහන්තං වීතසාරදං
නමෝ තේ පුරිසාජඤ්ඤ
නමෝ තේ පුරිසුත්තම”

‘‘දුර සිට ම වඳින්නාහු ය
මහානුභාව සම්පන්න වූ – විශාරද බවට පත් වූ
ආජාන්‍යෙය පුරුෂයාණෙනි!
ඔබ වහන්සේට නමස්කාර වේවා!
පුරුෂෝත්තමයාණෙනි, ඔබ වහන්සේට නමස්කාර වේවා!”
(ආටානාටිය සූත‍්‍රය)

දිවා රැය දෙකෙහි ම වන්දනා කළ යුත්තේ උන් වහන්සේට ම ය. ලොව පරම දුර්ලභ වූ එ් පුරුෂෝත්තමයාණන් වහන්සේගේ නාමයෙන් පිළිවෙත් පුරන්නට ලැබීම සුළු කොට තැකිය නො යුතු ය. මේ වනාහී අති දුර්ලභ වූ ක්ෂණ සම්පත්තියක උරුමය යි. එ් උරුමය නිසා ම ධර්මය අසන්නට ලැබීම යහපත් ය. එ් ඇසූ ධර්මය දරා ගැනීම ඉතා යහපත් ය. එ් අසා දරාගත් ධර්මය පුරුදු පුහුණු කිරීම වඩාත් යහපත් ය. ගෞතම සම්මා සම්බුදු ශ‍්‍රාවකයන් වූ අප කළ යුත්තේ එ් වඩාත් යහපත් දේ නො වන්නේ ද?

ශාන්ත වූ – ප‍්‍රණීත වූ අමා මහ නිවනට මඟ කියන; අවබෝධයෙන් ම කලකිරීම පිණිස, විරාගය පිණිස, කෙලෙස් බැහැර කිරීම පිණිස, සන්සිඳීම පිණිස, විශේෂ ඤණයන් උපදවා ගැනීම පිණිස, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මඟ කියන එ් තථාගත ශ්‍රී සද්ධර්මය සියල්ලෝ සිරසේ දරා ගනිත්වා! එ් දරා ගත් දහම තුළ අවබෝධය උපදවා ගනිමින් නිරන්තරයෙන් ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට වන්දනා කරත්වා!!!

මහාමේඝ 2015 වෙසක් කලාපය
WWW.MAHAMEGHA.LK


Viewing latest article 3
Browse Latest Browse All 74

Latest Images

Trending Articles



Latest Images