Quantcast
Channel: Mahamegha » All Time Favourites
Viewing all 74 articles
Browse latest View live

කුසල් බලය උපදවා ගනිමු

$
0
0

වස්සානයට සුන්දරත්වය බද්ධ වෙලා තියෙන්නෙ සීතල දියට කිරි එක් වුණා වගෙයි. වස්සානයෙන් සුන්දරත්වයක් එක්වෙලා හාත්පස වැසිදියෙන් තෙමෙන කොට පැතිරෙන සීතල, සිතකට ගෙනෙන්නෙ අමුතු මිහිරක්. අන්න එ් මිහිර ඔස්සේ සිත එකඟ කරන මුනිවරු වැඩ වාසය කරන වන සෙනසුන් හරි ම සුන්දරයි. එදා එළඹුණු වස්සානයේත් සැවැත් නුවර ජේතවනයේ වස් වසන්නට අපගේ ශාස්තෘන් වහන්සේ තීරණය කළා මේක අහපු නන්දිය ශාක්‍යයාත් සැවැත් නුවර ම සිය වැඩකටයුතු කර ගනිමින් භාග්‍යවතුන් වහන්සේ ව බැහැ දකිමින් වාසය කරන්නට තීරණය කළා.

වස් තුන් මාසය ගත වෙද්දී නන්දිය ශාක්‍යයා ද වස් කාලයේ සැවැත් නුවර ගත කරමින් කලින් කල භාග්‍යවතුන් වහන්සේ ව මුණගැහෙන්නට ගියා. වස්සානය අවසානයේ සිවුරු සකසාගත් භාග්‍යවතුන් වහන්සේ ද ස්වාමීන් වහන්සේලා ද චාරිකාවේ නික්මෙන්නට සූදානම් වුණා. නන්දිය ශාක්‍යයා ද භාග්‍යවතුන් වහන්සේ මුණගැහෙන්නට පැමිණ ආදරයෙන් වන්දනා කොට තොරතුරු කථා කොට අවසානයේ මෙසේ අසන්නට වුණා.

‘‘ස්වාමීනී, නා නා කටයුත්තෙහි යෙදී වසන අප විසින් කවර වූ විහරණයකින් වාසය කළ යුත්තේ ද?”

සතුටු සිත් ඇති භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන්නට වුණා.
01. නන්දිය, ශ‍්‍රද්ධා ඇත්තේ ම යහපත උදාකර ගන්නේ වෙයි. ශ‍්‍රද්ධා නැත්තහුට නො වේ.
02. සීලය ඇත්තේ ම යහපත උදා කර ගන්නේ වෙයි. සීලය නැත්තහුට නො වේ.
03. අරඹන ලද වීර්යය ඇත්තේ ම යහපත උදා කර ගන්නේ වෙයි. කුසීතහුට නො වේ.
04. එළැඹ සිටි සිහි ඇත්තේ ම යහපත උදා කර ගන්නේ වෙයි. සිහි මුළාවූවහුට නො වේ.
05. එකඟ වූ සිත් ඇත්තේ ම යහපත උදා කර ගන්නේ වෙයි. අසමාහිත තැනැත්තහුට නො වේ.
06. ප‍්‍රඥාව ඇත්තේ ම යහපත උදා කර ගන්නේ වෙයි. දුෂ්ප‍්‍රාඥහුට නො වේ.
නන්දිය, ඔබ මේ සය ධර්මය මත පිහිටා තවදුරටත් කරුණු පහක් වැඩිය යුත්තෙහි ය.

නන්දිය, මෙහිලා ඔබ තථාගතයන් සිහි කළ යුත්තෙහි ය.
එනම් ‘මේ මේ කරුණෙන් එ් භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක’ වශයෙනි. නන්දිය, මේ අයුරින් ඔබ විසින් තථාගතයන් අරභයා තමා තුළ සිහිය ඉපැදවිය යුත්තේ ය.

තව ද නන්දිය, ඔබ ධර්මය සිහි කළ යුත්තෙහි ය. එනම් ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට වදාරණ ලද ධර්මය ස්වාක්ඛාත ය, සන්දිට්ඨික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, නැණවතුන් විසින් තම තමන් තුළ දියුණු කොට අවබෝධ කරගත යුත්තේ ය’ වශයෙනි. නන්දිය, මේ අයුරින් ඔබ විසින් ධර්මය අරභයා තමා තුළ සිහිය ඉපැදවිය යුත්තේ ය.

තව ද නන්දිය, ඔබ කල්‍යාණමිත‍්‍රයන් සිහි කළ යුත්තෙහි ය. එනම් ‘එ්කාන්තයෙන් ම මට ලාභයෙකි, එ්කාන්තයෙන් ම මට මනා වූ ලැබීමෙකි. මා කෙරෙහි අනුකම්පා ඇති, යහපත කැමති, අවවාද කරන, අනුශාසනා කරන, කල්‍යාණමිත‍්‍රයෝ මට ඇත්තාහ’ වශයෙනි. නන්දිය, මේ අයුරින් ඔබ විසින් කල්‍යාණ මිත‍්‍රයන් අරභයා තමා තුළ සිහිය ඉපැදවිය යුත්තේ ය.

තව ද නන්දිය, ඔබ තමන්ගේ දන් දීමේ හැකියාව සිහි කළ යුත්තෙහි ය. එනම් ‘එ්කාන්තයෙන් ම මට ලාභයෙකි, එ්කාන්තයෙන් ම මට මනා වූ ලැබීමෙකි, ඒ මම් මසුරුමල නම් කිලූටෙන් යට වූ සිත් ඇති සමාජයෙහි ඒ මසුරු කිලූට බැහැර කළ සිතින් ගිහි ගෙදර වසමි, ඒ මම් දන් දීම පිණිස සිතින් අත්හැර සිටින්නෙකි, අත් සෝදා සිටින්නෙකි, දීමෙහි ඇලී සිටින්නෙකි, මාගෙන් ඉල්ලන්නට සුදුස්සෙක් වෙමි, දන් බෙදීමට ඇලූම් කරන්නෙක්මි’ වශයෙනි. නන්දිය, මේ අයුරින් ඔබ විසින් චාගය අරභයා තමා තුළ සිහිය ඉපැදවිය යුත්තේ ය.

තව ද නන්දිය, ඔබ දෙවිවරුන් ගැන සිහි කළ යුත්තෙහි ය. එනම් ‘යම් දේවතා කෙනෙක් ගොරෝසු ආහාරපානාදිය අනුභව කරන දෙවියන්ගේ ලෝකය ඉක්මවා ගොස් අන්‍යතර වූ මනෝමය කය ඇති දෙවියන් අතර උපන්නාහු ද ඒ දෙවිවරු තමන්ට කළ යුතු දේ ඇති බව නො දකිති. කළ දේ නැවත කළ යුතු යැයි ද නො දකිති’ වශයෙනි.

නන්දිය එය මෙබඳු දෙයකි. ක්ෂීණාශ‍්‍රව අරහත් භික්ෂුව තමන්ට විමුක්තිය පිණිස කළ යුතු දේ ඇති බව නො දකියි ද කළ දේ නැවත කළ යුතු යැයි නො දකියි ද එසෙයින් ම නන්දිය, ‘යම් දේවතා කෙනෙක් ගොරෝසු ආහාරපානාදිය අනුභව කරන දෙවියන්ගේ ලෝකය ඉක්මවා ගොස් අන්‍යතර වූ මනෝමය කය ඇති දෙවියන් අතර උපන්නාහු ද ඒ දෙවිවරු තමන්ට කළ යුතු දේ ඇති බව නො දකිති. කළ දේ නැවත කළ යුතු යැයි ද නො දකිති’යි, නන්දිය, මේ අයුරින් ඔබ විසින් දෙවියන් අරභයා තමා තුළ සිහිය ඉපැදවිය යුත්තේ ය.

නන්දිය, මෙම එකළොස් කරුණෙන් සමන්විත වූ ආර්ය ශ‍්‍රාවකයා පාපී අකුසල් දහම් අත්හරින්නේ ම ය. ඒ අකුසල්වලට හසු නො වන්නේ ම ය.

නන්දිය, එය මෙබඳු දෙයකි. දිය කළයක් යටිකුරු කළ විට දිය වමාරන්නේ ම ය. ඒ වැමෑරූ දිය යළිත් නො වමාරන්නේ ම ය. එමෙන් ම නන්දිය, එය මෙබඳු දෙයකි. වියැළී ගිය තණ ලැහැබක් ගිනි ගත් කල්හී එය ගින්නෙන් දැවී යන්නේ ම ය. ගින්නෙන් දැවී ගිය දෑ පෙරළා නො දවන්නේ ම ය. එ් අයුරින් ම නන්දිය, මෙම එකළොස් කරුණෙන් සමන්විත වූ ආර්ය ශ‍්‍රාවකයා පාපී අකුසල් දහම් අත්හරින්නේ ම ය. ඒ අකුසල්වලට හසු නො වන්නේ ම ය.
(නන්දිය සූත‍්‍රය – අ.නි 6 – අනුස්සති වර්ගය)

මෙම නන්දිය සූත‍්‍රය ගිහි ශ‍්‍රාවකයා හට පුරුදු කරන්නට භාග්‍යවතුන් වහන්සේ විසින් ඍජුව දේශනා කරන ලද ධර්මයන් අඩංගු දේශනාවකි. එකල ගිහි ශ‍්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේගෙන් තමන්ට පුරුදු කරන්නට ධර්මයක් ඉල්ලා සිටින ආකාරය ගැන අප ඉතා ප‍්‍රසාදජනක සිතක් උපදවා ගත යුතු ය. අද අප ධර්මය අසයි. කියවයි. මේ පුවත් ලිපිය ද ඔබ කියවා පැත්තකින් තබනු ඇත. එහෙත් එදා ධර්මයක් අසන්නේ පුරුදු කරන්නට ය. එය ගෞරවයෙන් දරාගෙන ඒ තුළ හිත වඩන්නට ය. එහෙත් අද…?

‘යහපත’ කියන වචනයටත් අප ලැදියාවක් ඇත. නන්දිය ශාක්‍යයාට භාග්‍යවතුන් වහන්සේ විසින් යහපත උදා කරවන ධර්ම හයක් ගැන කියා දෙනු ලබයි. පළමු ධර්මය ශ‍්‍රද්ධාවයි. භාග්‍යවතුන් වහන්සේ විසින් කළ යුතු යයි දේශනා කළ යම් කායික ක‍්‍රියා වේ ද මානසික ක‍්‍රියා වේ ද වාචසික ක‍්‍රියා වේ ද ඒ සියලූ ක‍්‍රියා කිරීම ද නො කර සිටින්න යැයි දේශනා කළ කායික, මානසික, වාචසික ක‍්‍රියා නො කර සිටීම ද ඔහුගේ ශ‍්‍රද්ධාවට අයත් දෙයකි. ඔහුගේ යහපත උදා කරන්නේ ඒ තුළ ය. සුචරිතය ඇති වන්නේ එ් තුළ ය.

එ් ආකාරයෙන් ශ‍්‍රද්ධාවන්ත වූ ඔහුගේ සීලය ඔහුට යහපතක් ඇති කරන්නේ ම ය. එ් වාගේ ම ශ‍්‍රද්ධා සම්පන්න ශ‍්‍රාවකයා කුසල් උපදවන්නටත් අකුසල් ප‍්‍රහාණය කරන්නටත් උත්සාය කරන්නේ ය. එය ඔහුගේ පටන් ගත් වීරිය යි. එය ඔහුගේ යහපත උදා කරන ධර්මයක් වන්නේ ම ය. ශ‍්‍රද්ධාව මත පිහිටා මේ ධර්මයන් උපදවා ගන්නා ශ‍්‍රාවකයාට නීවරණ සන්සිඳී පවතින්නේ ම ය. ඔහු කුසලය කුසලය ලෙස ද අකුසලය අකුසලය ලෙස ද දකිමින් වාසය කරන නිසා එළැඹ සිටි සිහියෙන් වාසය කිරීමේ ධර්මය උපදින්නේ ය. ඔහු ධර්මය ඉගෙන ගනිමින් කලෙක ඒ ධර්මය නුවණින් විමසන ප‍්‍රඥවන්තයෙක් වන්නේ ම ය. ප‍්‍රඥව ඔහුගේ යහපත උදා කරන්නේ ම ය. යහපත උදා කරන ධර්මයට පැමිණෙන ප‍්‍රතිපදාව මෙය යි.

මේ යහපත උදා කර ගන්නා කෙනා කරුණු පහක් වැඩිය යුත්තේ යයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන සේක. භාග්‍යවතුන් වහන්සේ මෙහි දී සිහි කළ යුතු කාරණා වචන වශයෙන් ම නන්දිය ශාක්‍යයාට උගන්වයි. පළමු කාරණය බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීම ය. දෙවන කාරණය ධර්මයේ ගුණ සිහි කිරීම ය. තුන් වන කාරණය කල්‍යාණ මිත‍්‍රයන්ගේ ගුණ සිහි කිරීම ය. හතර වන කාරණය අත් හැරීම හෙවත් දානයේ ගුණ සිහි කිරීම ය. පස්වන කාරණය දෙවිවවරුන් ගැන සිහි කිරීම ය.

මෙම දෙවිවරුන් ගැන සිහි කරන කාරණය ඔබට පැහැදිලි ද? එය පැහැදිලි කර ගැනීමට භාග්‍යවතුන් වහන්සේ ගෙන හැර දක්වන උදාහරණය බලන්න. ‘ආශ‍්‍රව නැති රහතන් වහන්සේ විමුක්තිය පිණිස තමන් වහන්සේට කළ යුතු දෙයක් ඇති බව නො දකී ද කළ දේ නැවත කළ යුතු යැයි නො දකියි ද ඒ ආකාරයෙන් යම් දෙවි කෙනෙක් ගොරෝසු ආහාරපානාදිය අනුභව කරන දෙවියන්ගේ ලෝකය ඉක්මවා ගොස් වෙනත් මනෝමය කය ඇති දෙවියන් අතර උපදින්නේ ද එ් දෙවිවරු තමන්ට කළ යුතු දේ ඇති බව නො දකියි, කළ දේ නැවත කළ යුතු යැයි ද නො දකියි.’ යැයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කොට පෙන්වා දෙයි.

තමා විසින් යහපත උදා කරන ධර්මයන් හය උපදවා ගන්නා ශ‍්‍රාවකයාට මෙසේ සිහි කරන්නට කුසල් බලයක් තිබෙනවා නො වේ ද? එසේ නම් අප ද එ් බලය උපදවා ගත යුතු වන්නේ ය. අප කළ යුත්තේ මුලින් ම ශ‍්‍රද්ධාවට පැමිණීම ය. එ් භාග්‍යවතුන් වහන්සේ විසින් පුරුදු කරන්නට කියා දුන් ධර්මය පුරුදු කරන්නට ඇත්තේ ම ශ‍්‍රද්ධා සම්පන්න ශ‍්‍රාවකයාට ම ය. අප සියලූ දෙනාටමත් මෙම අවවාද දරාගෙන පුරුදු කිරීමට මෙම සදහම් පණිවිඩය හේතු වාසනා වේවා !


ජීවමාන ධර්මයක් තුළ මළකඳන් නො වන්නට සීලයෙන් සංවර වෙමු…!

$
0
0

උපාසක උපාසිකා යන ශ‍්‍රාවක දෙපිරිස උදෙසා බුදුරජාණන් වහන්සේ වරින් වර කළ සදහම් විවරණ විසින් අප දියුණුව කරා මෙහෙයවනු ලැබූවා. එ් විවරණ අතීතයේ සිට ලාංකිකයන් හා බද්ධ වෙලා හැදුණු සංස්කෘතියක් තමයි අපට තිබෙන්නේ. සම්බුද්ධ විවරණ ඔස්සේ පැමිණි මෛත‍්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආදි ධර්මයන් සමාජගත වුණු නිසා ම අප ඉතා යහපත් සමාජයක ජීවත් වුණා. එ් වගේ් ම සීල බලයක අගය දන්නා සමාජයක් තමයි ලෝකයේ සංවරයකින් යුතු වන්නේ. එ් වගේ ම සංවර සිතක අසිරිය විඳ ගන්නේ.

බුදුරජාණන් වහන්සේ විසින් අපට නිත්‍ය සීලය ලෙස පංච සීලයයි පනවා වදාළේ. බුදුරජාණන් වහන්සේ විසින් විස්තර කර දුන් සීල් පද අතරින් කරුණු අටක් සහිත සීලයක් තමයි ආජීව අට්ඨමක සීලය කියන්නේ. ආජීවය හෙවත් දිවි පැවැත්ම පිරිසිදුව පවත්වාගන්නා සිල් පදය ඇතුළු සිල් පද අටකින් මෙම උතුම් සීලය සමන්විතයි.

1. ප‍්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ සිල් පදය
2. සොරකමින් වැළකීම නම් වූ සිල් පදය
3. අබ‍්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් වූ සිල් පදය
4. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල් පදය
5. කේලාම් කීමෙන් වැළකීම නම් වූ සිල් පදය
6. පරුෂ වචන කීමෙන් වැළකීම නම් වූ සිල් පදය
7. හිස් වචන කීමෙන් වැළකීම නම් වූ සිල් පදය
8. මිථ්‍යා ආජීවයෙන් වැළකීම නම් වූ සිල් පදය
යන සිල් පද අට මෙම සීලයට අයත් වෙනවා. කායික ක‍්‍රියා පිරිසිදු කර ගන්නා සිල් පද තුනක් ද වචනය පිරිසිදු කර ගන්නා සිල් පද හතරක් ද පිරිසිදු දිවි පැවැත්මෙන් යුතුව ගත කිරීම නම් වූ සිල් පදයෙන් ද මෙම සීලය සමන්විතයි.

එ් සිල් පදවල අරුත් අපි විස්තර වශයෙන් දැනගත යුතුයි. එ් වාගේ ම ආජීව අට්ඨමක සීලයෙන් අපට ඇති කායික වාචසික රැුකවරණය ඉතා වැදගත් වෙනවා. එ් වාගේ ම තමාගේ ජීවිත පැවැත්ම පිරිසිදුව පවත්වා ගැනීමේ හැකියාවත් මෙම සීලය ගෞරවයෙන් යුතුව රැුකීමෙන් අපට ලැබෙන ලාභයක්.

බුදුරජාණන් වහන්සේ වේරඤ්ජක සූත‍්‍රයේ දී අපට මෙසේ කියා දෙනවා.

‘‘පින්වත් ගෘහපතිවරුනි, අධර්මයේ හැසිරීමත්, වැරදි හැසිරීමත් කය මුල් කරගෙන තුන් විදිහකින් සිදුවෙන්නෙ කොහොම ද?
පින්වත් ගෘහපතිවරුනි, මෙලොව කෙනෙක් පාණාතිපාතී වෙනවා. එ්කෙ තේරුම මේකයි. ඔහු නපුරු කෙනෙක්. ලේ තැවරුණු අත් ඇත්්තෙක්. සතුන් කපා කොටා මැරීමෙහි යෙදී ඉන්නවා. සත්වයින් කෙරෙහි දයාව රහිතව ඉන්නවා. ඔහු සොරකම් කරනවා. අනුන් සතු, අනුන්ගේ සම්පත්, ගමක හෝ කැලේක හෝ තියෙනවා නම් එ් නුදුන් දේ සොර සිතින් අර ගන්නවා.”

ආජීව අට්ඨමක සීලයේ ඊ ළඟ සිල් පදයෙන් විස්තර වන්නේ අබ‍්‍රහ්මචාරී බව අත්හැරලා බ‍්‍රහ්මචාරීව සිටීම ගැනයි. කාම සේවනයෙන් වැළකී සිටීම, එනම් ‘‘ළාමක දෙයක් වූ මෛථූන සේවනයෙන් වැළකී එය දුරින් ම දුරුකර දමනවා” යන්නයි එහි අදහස.

ඉන් පසු ආජීව අට්ඨමක සීලයේ සඳහන් වන්නේ වචනයෙන් සංවර වීමේ සිල්පද හතරයි. භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජක සූත‍්‍රයේ දී මේ ආකාරයෙන් එය පෙන්වා දෙනවා.

‘‘පින්වත් ගෘහපතිවරුනි, වචනය මුල් කරගෙන හතර ආකාරයකින් අධර්මයේ හැසිරෙන්නේ, වැරදි ලෙස හැසිරෙන්නේ කොහොම ද?
පින්වත් ගෘහපතිවරුනි, බොරු කියන කෙනෙක් ඉන්නවා. සභාවක් මැද හෝ, පිරිසක් මැද හෝ, ඤතීන් මැද හෝ, සේනා මැද හෝ, රජය ඉදිරියට ගෙන, විනිසුරුවන් සාක්‍ෂි විමසන කොට ‘එ්යි පුරුෂය, දැන් නුඹ දන්නවා නම් කිව යුතුයි’ කී විට ඔහු නො දැන ම තමන් දන්නවා යැයි කියයි නම්, දැන දැනත් තමන් නො දන්නවා යැයි කියයි නම්, නො දැකත් තමන් දකිනවා යැයි කියයි නම්, දැක දැකත් තමන් නො දකිනවා යැයි කියයි නම් ඔය විදිහට තමන් නිසා හෝ, අනුන් නිසා හෝ, යම් කිසි අල්ලසක් නිසා හෝ දැන දැන බොරු කියයි නම් එය යි.
ඔහු කේළාම් කියනවා. මෙතනින් අහගෙන ගිහින්, මෙතන බිඳවන්න එතන කියනවා. එතනින් අහගෙන ඇවිත් එතන බිඳවන්න මෙතන කියනවා. ඔය විදිහට සමඟි අය බිඳවනවා. බිඳුන අය වෙන් කරනවා. කල්ලි
හදන්න කැමති වෙනවා. කල්ලි හැදීමේ ඇලෙනවා. කල්ලි හැදෙන අයුරින් අර්බුදකාරීව කතා කරනවා නම් එය යි.
ඔහු පරුෂ වචන කියනවා. ප‍්‍රශ්න ඇතිවෙන වචන, කර්කශ, අනුන්ට අසතුටු, අනුන් කෝප ගැන්වෙන, ක්‍රෝධය ඇතිවෙන, සමාධිය නැති කරන වචන කීමක් ඇද්ද එයයි
ඔහු හිස් වචන කියන කෙනෙක්. අයුතු වෙලාවේ කියන, නො වූ දෙයක් කියන, අනර්ථ වූ දෙයක් කියන, අධර්මයක් කියන, අවිනයක් කියන, හිතේ තැන්පත් කර නො ගත යුතු දේවල් ඇද්ද, එ් වගේ ම කරුණු රහිතව සීමාවක් නැතිව අනර්ථය ඇතිවෙන හිස් කතා ඇද්ද එ්වා යි.
පින්වත් ගෘහපතිවරුනි, වචනය මුල් කරගෙන හතර ආකාරයකින් අධර්මයේ හැසිරෙන්නේ, වැරදි ලෙස හැසිරෙන්නේ ඔය විදිහටයි.”

ඔන්න ඔය ආකාරයෙන් වචනයෙන් පිරිසිදු වන සිල්පද හතක් විස්තර වෙනවා. ඉන් පසුව අප සමාදන් විය යුත්තේ ආජීවය පිරිසිදුව පවත්වා ගැනීම නම් වූ සිල් පදය යි. වැරදි දිවි පැවැත්ම පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයෙන් අපට උගන්වනවා.

‘‘පින්වත් මහණෙනි, කුමක් ද මිථ්‍යා ආජීවය කියන්නේ? දෙපිටකාට්ටු වංචාවෙන් ජීවත් වීම, ලාභ සත්කාර ලබා ගැනීමේ ආශාවෙන් වර්ණනා කොට කතා කිරීම, ලාභ ලබා ගැනීම පිණිස, විශේෂ ලකුණු ඉස්මතු කරමින් කටයුතු කිරීම, සත්‍යය සඟවා කටයුතු කිරීම, ලාභයෙන් ලාභ සෙවීම. පින්වත් මහණෙනි, මෙයයි මිථ්‍යා ආජීවය.”
- මහාචත්තාරීසක සූත‍්‍රය

ඇත්තෙන්ම අපි එදිනෙදා ජීවිතය අපිරිසිදු කර ගන්නේ ද පිරිසිදුව ගත කරන්නේ ද යන්න අදහසක් අපට නැහැ. අපි නිවැරදිව ජීවිතය ගෙවනවා කියල මායාවක ඉඳන් වංචනිකව දිවි පැවැත්මක් ඇති කරගෙන ජීවත් වෙනවා නම්, කිසි දාක භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකත්වය ලබන්නට බැහැ.

බුදුරජාණන් වහන්සේ බෝසත් කාලයේ මෙම ආජීවය පිරිසිදුව ගතකොට තිබෙන බව ලක්ඛණ සූත‍්‍රයේ විස්තර කෙරෙනවා. ”තරාදියෙන් කරන වංචා, තැටියෙන් කරන වංචා, මිම්මෙන් කරන වංචා, අල්ලස් ගෙන කරන වංචා, අනුන් රැුවටීම, නොවටිනා දේ වටිනා හැටියට පෙන්වා රැුවටීම, අත් පා සිඳීම, වධ දීම, බන්ධන, පැහැර ගැනීම්, ගම් පැහැර ගැනීම්, බලහත්කාරයෙන් ගැනීම් ආදියෙන් ජීවිතය ගෙවීමක් ඇද්ද, එයින් සම්පූර්ණයෙන් ම වැළකී ජීවිතය ගත කළේ ය.” යනුවෙන් ලක්ඛණ සූත‍්‍රයේ පෙන්වා දෙනවා.

එ් ආනිශංසයෙන් භාග්‍යවතුන් වහන්සේ දෙතිස් මහා පුරුස ලකුණු අතරින් සම වූ දත් ඇති බවත්, ඉතාමත් සුදු දත් ඇති බවත් යන පුරිස ලකුණු දැරූ බවයි පෙන්වා දෙන්නේ.

පිරිසිදු ගිහි ජීවිතයක් කියන්නෙ ලස්සන ගෙවල් ෙදාරවල් ම නෙවෙයි. ලස්සන ගෙවල්වල අපිරිසිදු හිත් ඇතිව වාසය කරනවා නම් එ් අය සැපෙන් ඉන්නෙ නැහැ. එ් නිසා කායික ක‍්‍රියාව ඔස්සේ, වාචසික ක‍්‍රියාව ඔස්සේ එ් වාගේ ම මනා දිවි පැවැත්මක් ඔස්සේ සිත පිරිසිදු වෙනවා නම් එ් ජීවිතය කොච්චර සුන්දර ද? අන්න එ් සුන්දරත්වය උපදවා දෙන්නට ගිහි පින්වතුනට ආජීව අට්ඨමක සීලය මහා රැුකවරණයක් ම යි.

අප සරණ ගිය සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදු වූ මේ උතුම් පුන් පොහොයෙන් පටන් ගෙන, එ් බුද්ධ වචනය අනුව ම කටයුතු කරමින් මේ ආකාරයෙන් උතුම් වූ සීලයක පිහිටන්නට හැකි නම් එය අපට මහා ලාභයක් ම යි… සසර දුකින් නිදහස් වීම පිණිස අප සියලූ දෙනාටම මේ තථාගත අවවාදයන් හේතු වාසනා වේවා..!

ධම්මානුස්සති භාවනාව පුරුදු කරමු

$
0
0

අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව පන්සාලිස් වසරක් පුරා දෙව් මිනිසුන් වෙත පතළ මහා කරුණාවෙන් යුක්තව උතුම් ශී‍්‍ර සද්ධර්මය දේශනා කොට වදාළා. නිකෙලෙස් හද මඬලින් යුතුව පරිපූර්ණ අවබෝධයට පත්ව ප‍්‍රාතිහාර්යය සහිතව පරිපූර්ණ නිවන් මඟ පෙන්වා වදාළ එ් උතුම් ශී‍්‍ර සද්ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් ද ගුරු තනතුරෙහි ලා ගෞරව කරනු ලැබුවා. එ් ශී‍්‍ර සද්ධර්මය සසරින් එතෙර වීම පිණිස ඇති එ්කායන මාර්ගයයි. සසර දුකට වැටී කෙලෙසුන් නිසා අපිරිසිදු වී සිටින සත්වයන් හට එම කෙලෙසුන්ගෙන් මිදී, පරම පාරිශුද්ධත්වයට පත් වීම පිණිස උපකාරී වන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයයි. දුකින් පීඩිතව සෝ සුසුම් හෙළමින්, හඬමින්, වැළපෙමින් සිටින සත්වයන් හට එයින් නිදහස් වීම පිණිස ද කායික මානසික දුක් දොම්නස්වලින් අත්මිදීම පිණිස ද උපකාර වන්්නේ ශී‍්‍ර සද්ධර්මයයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කොට තණ්හාව ප‍්‍රහාණය කරමින් සදාකාලික සැපය ඇති අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස පවතින ශී‍්‍ර සද්ධර්මයේ ගුණ මෙනෙහි කරමින් ශ‍්‍රාවකයා වඩන භාවනාව ‘ධම්මානුස්සතිය’ යි.
ධම්මානුස්සති භාවනාව පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

‘‘පින්වත් මහණෙනි, එක ම එක දෙයක් භාවනා වශයෙන් වැඩුවෙත්, බහුල වශයෙන් පුරුදු කළොත් එ්කාන්තයෙන් ම අවබෝධයෙන් කලකිරීම පිණිස ම, නොඇලීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ම, අමා මහ නිවන පිණිස ම පවතිනවා. එ් එක ම එක දෙය නම් ධම්මානුස්සතිය යි”.

තව ද ධම්මානුස්සති භාවනාවේ ආනිශංස සම්බුදුරජාණන් වහන්සේ මහානාම නම් ශාක්‍ය රජු හට මෙලෙසින් ද වදාළා.
‘‘මහානාමයෙනි, ආර්ය ශ‍්‍රාවකයා ධර්මයේ ගුණ සිහිකරමින් ධම්මානුස්සති වඩයි. එසමයෙහි ඔහු තුළ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත ධර්මයෙහි ගුණ අරබයා ඍජු බවට පත් වූයේ වෙයි. ඍජු බවට පත් වූ සිත් ඇති ආර්ය ශ‍්‍රාවකයා අරුත් මෙනෙහි කරමින් සතුට ලබන්නේ ය. ධර්මය තුළින් සතුට ලබන්නේ ය. ධර්මයෙන් හටගත් ප‍්‍රමුදිත බව ලබන්නේ ය. ප‍්‍රමුදිත වූ කෙනාට ප‍්‍රීතිය උපදී. ප‍්‍රීති සිත ඇති කෙනාගේ කය සන්සිඳෙයි. සන්සිඳුන කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙයි. මහානාමයෙනි, මේ ආර්ය ශ‍්‍රාවකයා රාග ද්වේෂ මෝහ ආදියෙන් විෂම බවට ගිය ප‍්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි කියා ද දුක් සහිත ප‍්‍රජාව අතර නිදුක්ව වාසය කරයි කියා ද දහම් සැඩ පහරට පැමිණියේ ධම්මානුස්සතිය වඩයි කියා ද කියනු ලැබේ.”

තවද ධම්ම පද ගාථාවල දී ධම්මානුස්සතිය වඩන ශ‍්‍රාවකයා ගැන භාග්‍යවතුන් වහන්සේ මෙලෙසින් ද වදාළා.
‘‘යමෙක් දවාලටත්, රාත‍්‍රියටත් නිතර ම ධම්මානුස්සති භාවනාවේ යෙදෙනවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ එ් ශ‍්‍රාවකයෝ හැමදාම ඉතා ප‍්‍රබෝධවත්වයි පිබිදෙන්නේ.”

තවත් අවස්ථාවක දී විශාකා උපාසිකාවට ධම්මානුස්සතිය පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.
‘‘පින්වත් විශාඛා, මෙහිලා ආර්ය ශ‍්‍රාවකයා ශ‍්‍රී සද්ධර්මයේ ගුණ සිහි කරනවා. එවිට ඔහුගේ සිත පහදිනවා. ප‍්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේෂ ඇත්නම් එ්වා ප‍්‍රහාණය වෙනවා. මෙයට තමයි කියන්නේ ආර්ය ශ‍්‍රාවකයා ධර්ම උපෝසථයෙන් වාසය කරනවා කියලා.”

මේ ආකාරයට මහත්ඵල මහානිශංස ලබා දෙන ධම්මානුස්සති භාවනාව අපි කවුරුත් නිරන්තරයෙන් පුරුදු පුහුණු කර ගනිමු.

ස්වාක්ඛාත ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් ඉතා ම යහපත් ලෙස ශ‍්‍රී සද්ධර්මය දේශනා කරන ලදී. එම ශ‍්‍රී සද්ධර්මයේ ආරම්භය වූ සීලයත් ඉතා ම යහපත් ය. එහි මැද කොටස නම් වූ සමාධියත් ඉතා ම යහපත් ය. එහි අවසාන කොටස නම් වූ ප‍්‍රඥාවත් ඉතා ම යහපත් කොට දක්වන ලද්දේ ය. අර්ථ සහිතව පෙන්වා දෙන ලද්දේ ය. පැහැදිලි වචනවලින් පෙන්වා දෙන ලද්දේ ය. අතිශයින් ම පරිපූර්ණ වූ පාරිශුද්ධ වූ නිකෙලෙස් ජීවිතය පෙන්වා දෙන ලද්දේ ය.

එම නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ශ‍්‍රී සද්ධර්මය ඉතා යහපත් කොට වදාළ හෙයින් ස්වක්ඛාත වන සේක. මෙසේ ස්වක්ඛාත වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ ස්වක්ඛාත වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

සන්දිට්ඨික ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් වදාරණ ලද ශ‍්‍රී සද්ධර්මය මේ ජීවිතය තුළ දී ම අවබෝධ කළ හැකි වන සේක. එ් ශ‍්‍රී සද්ධර්මය සීල, සමාධි, ප‍්‍රඥා වශයෙන් දියුණු කළ හැකි වන සේක. එ් ශ‍්‍රී සද්ධර්මය සෝවාන් මාර්ග – ඵල, සකදාමී මාර්ග – ඵල, අනාගාමී මාර්ග – ඵල, අරහත් මාර්ග – ඵල වශයෙන් අවබෝධ කර ගත හැකි වන සේක. එ් ශ‍්‍රී සද්ධර්මය චතුරාර්ය සත්‍යය ධර්මය වශයෙන් මේ ජීවිතයේ දී ම අවබෝධ කළ හැකි වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ‍්‍රී සද්ධර්මය මේ ජීවිතයේ දී ම අවබෝධ කළ හැකි නිසා සන්දිට්ඨික වන සේක. මෙසේ සන්දිට්ඨික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ සන්දිට්ඨික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

අකාලික ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය ඕනෑම කාලයක දී එ් ආකාරයෙන් ම අවබෝධ කළ හැකි වන සේක. එ් ධර්මයේ සඳහන් වන සීල, සමාධි, ප‍්‍රඥා හෝ මාර්ග ඵල හෝ චතුරාර්ය සත්‍යයාදී ධර්මයන් සදාකාලික සත්‍යයක් වශයෙන් පවතින නිසා ඕනෑම කාලයකට අවබෝධ කළ හැකි වන සේක.

මෙසේ අතීත, අනාගත, වර්තමාන භේදයකින් තොරව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ශ‍්‍රී සද්ධර්මය අවබෝධ කළ හැකි නිසා අකාලික වන සේක. මෙසේ අකාලික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ අකාලික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

එ්හිපස්සික ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය ‘ඇවිත් බලන්නැ’යි දක්වාලන, දෙව් මිනිසුන් අතරට විවෘත භාවයට පත් වුණ සේක.

රහස් බණ, රහස් උපදෙස්, සැඟවී කතා බස් කිරීම් නොමැති මේ ශ‍්‍රී සද්ධර්මය හිරු මඬල දක්වන්නා සේ සඳ මඬල දක්වන්නා සේ හඬ නගා පෙන්වා දිය හැකි සේක. මෙසේ ‘නුවණින් විමසා බලන්නැ’යි දෙව් මිනිස් ලෝකයා හමුවේ විවෘතව තබන ලද නිසා, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ශ‍්‍රී සද්ධර්මය එ්හිපස්සික වන සේක.

මෙසේ එ්හිපස්සික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ එ්හිපස්සික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

ඕපනයික ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය මනා කොට ශ‍්‍රවණය කිරීමෙන් ද මනා කොට ධාරණය කිරීමෙන් ද වචනයෙන් පුරුදු කිරීමෙන් ද නුවණින් මෙනෙහි කිරීමෙන් ද ධර්මානුධර්ම ප‍්‍රතිපත්තියේ යෙදීමෙන් ද තම තමන්ගේ ජීවිත තුළට පමුණුවා ගත යුතු හෙයින් ඕපනයික වන සේක.

මෙසේ ඕපනයික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ ඕපනයික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

පච්චත්තං වේදිතබ්බ විඤ්ඤුුහී ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය වනාහී ඕනෑම ජාතියක, ඕනෑම ගෝත‍්‍රයක, ඕනෑම කුලයක, කපටි නැති, මායා නැති, අවංක ගති ඇති ප‍්‍රඥාවන්තයන් හට තම තම නැණ පමණින් වෙන් වෙන් වශයෙන් අවබෝධ කළ හැකි නිසා පච්චත්තං වේදිතබ්බ විඤ්ඤුුහී වන සේක.

මෙසේ පච්චත්තං වේදිතබ්බ විඤ්ඤුුහී වන ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ පච්චත්තං වේදිතබ්බ විඤ්ඤුුහී වන ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

ඇසුර – අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද
ස්වාමීන් වහන්සේ විසින් රචිත සිතට සුව දෙන භාවනා

ගෞතම බුද්ධ රාජ්‍යයේ මහ රජුන් සරණ යමු

$
0
0

මේ ලෝකයේ කලින් කලට බල සම්පන්න රජවරු බිහි වෙනවා. අතිශය බල සම්පන්න, ශක්තිමත් රාජධානි බිහි වෙනවා. එ් රජවරුන් යටතේ ජීවත්වන වැසියන් රජුගේත්, රාජධානියේත් ශක්ති සම්පන්න භාවය කෙරෙහි තිබෙන්නා වූ විශ්වාසය නිසා රජුත්, රටත්, තමනුත් සියලූ බියෙන් නිදහස් වී සුරක්ෂිතව වාසය කරන බව සිතනවා. එහෙත් එය හුදු සිතිවිල්ලක් ම පමණක් ම බව සහතික කරමින් ලොව එදා මෙදා තුර බිහිවූ සෑම ප‍්‍රබල රජ කෙනෙක් ම, සෑම ප‍්‍රබල රාජධානියක් ම නැසී වැනසී ගියා. සතුරන් පරදවා ජය කෙහෙළි නැගූ රජවරුන්, පවුරු ප‍්‍රාකාර දිය අගල් සහිත වූ සුරක්ෂිත රාජධානි ඉදි කළා වූ රජවරුන්, ස්වකීය දේශය පර සතුරු උවදුරුවලින් සහ බිය තැතිගැනීම්වලින් සහමුලින් ම නිදහස් කොට ගත් බවට උදම් ඇනූ රජවරුන් කිසිවෙකුට අඩුම තරමේ තම ජීවිතයවත් බිය තැති ගැනීම්වලින්, පරාජයට පත් වීමේ අවදානමෙන් නිදහස් කර ගන්නට හැකි වුණේ නැහැ.

ශක්ති සම්පන්න භාවය නිසා ම හට ගත් බල කාමය නිසා ඇතැම් රජවරුන් රටවැසියන්ගේ සුඛිත මුදිත භාවය වෙනුවට ස්වකීය බල පරාක‍්‍රමය සමාජය මත පතුරුවා හැරීම සිදු කරන්නට යෙදුණා. එයින් තම බලය ස්ථාවර වන බවක් ඔවුන් සිතුවත් පීඩිත පිරිස් විසින් සෑම අවස්ථාවක දී ම එවන් නොපනනත්කම් පිටු දකිනු ලැබුවා. එවැනි රජුන් සහ එසේ නොකටයුත්තෙහි යෙදීම පිණිස බලය යොදා ගත් රාජධානි ඉතිහාසයේ බොහෝ අවස්ථාවල හිටිහැටියේ මැකී ගොස් තිබෙනවා. එසේ සිදු වන්නේ ශක්ති සම්පන්න යැයි මතුපිටින් පෙනෙන, අසීමිත බලපරාක‍්‍රමයකින් යුතු යැයි මතුපිටින් පෙනෙන එ් රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ බිය, සැක, තැතිගැනීම, කායික – මානසික පීඩාවන් එ් සියලූ බලවත්කම් අබිබවා ඉස්මතු කෙරෙන නිසයි. බිය සැක දුරු කරන, සන්සිඳීම ඇති කරවන පාලන තන්ත‍්‍රයක් ලෝකයේ බිහි නොවන තාක් කල් එ් සියලූ පාලනයන් යම් මොහොතක ජනතාව අතින් ම ප‍්‍රතික්ෂේප වනවා. එසේ නො වුණහොත් ඉතා පහසුවෙන් පරසතුරු ආක‍්‍රමණයන්ගේ ගොදුරක් බවට පත් වනවා.

මේ කාරණා සියල්ලෙන් ම විනිර්මුක්ත වූ, සියලූ බිය තැති ගැනීම් දුරු කරන්නා වූ, සන්සිඳීම – සුඛිත මුදිත භාවය ම තිර කරන්නා වූ යම් රජ කෙනෙක් ලෝකයේ බිහි වෙනවා නම් එ් තමයි ලෝකයේ යහපත පිණිස ම බිහි වන රජු… එ් රජු යටතේ බිහිවන රාජධානිය තුළ ද්වේෂයට ඉඩක් නැහැ… වෛරයට ඉඩක් නැහැ… අසත්පුරුෂකමට ඉඩක් නැහැ… එ් රජුත්, රාජධානියත් නිර්මාණය වී තිබෙන්නේ අනුත්තරීය වූ සත්පුරුෂ භූමියේ. එ් නිසා ම එකී රාජධානියේ වැසියෙක් වන්නට වාසනාව ලබන්නා මේ ලෝකයේ පරම උත්තම රැකවරණය සලසා ගන්නවා. එවන් රජෙකු හෝ එවන් රාජධානියක් හෝ නසා වනසා දමන්නට, විනාශ කරන්නට මේ ලෝකයේ කිසිවෙකුට බැහැ. එවන් රජ කෙනෙකුගේ සොඳුරු ආඥාදායකත්වය කලින් කලට වෙනස් වන්නක් නෙවෙයි. එ් වගේ ම කලෙක දී යහපත, අර්ථය සලසා කලක දී අයහපත, අනර්ථය සලසන්නක් ද නෙවෙයි. දිවා රැයේ, අතීත අනාගත වර්තමාන යන තුන් කාලයේ දී ම එකී ආඥදායකත්වය ස්වකීය ජීවිතය මෙහෙයවන බලවේගය බවට පත් කර ගන්නවුන්ට අනූපමේය වූ යහපත ම සලසා දෙනවා. එවන් රජ කෙනෙකු කෙසේ පරදවන්න ද? එවන් රාජධානියක් කෙසේ බිඳ වට්ටවන්න ද? එවන් රජ කෙනෙකු හෝ එවන් රාජධානියක් කුමක් නිසා නම් නෙරපා හරින්න ද? එවන් රජ කෙනෙකුගේ යටත් වැසියෙකු වන්නට හැකි නම් අප කිසි දිනක පරාජයට, බියට, තැතිගැනීමට පත් වන්නේ නැහැ.

එ් අසමසම වූ, විපුල වූ, අනුත්තරීය වූ රාජධානියත්, රජුත් අදටත් ජීවමානයි කියා අප පැවසුවහොත්…? සත්පුරුෂ ධර්මයේ අධිපති බව ඇතිව සත්පුරුෂ ධර්මය ම ඇසුරු කරමින් සත්පුරුෂ ධර්මය තුළ ම පිහිටමින් පතුරුවා හරින ආඥා චක‍්‍රයකින් යුතු වූ, කිසිවෙකුට පරාජය කළ නො හැකි, පෙරළා දැමිය නො හැකි එ් රාජධානියේ වැසියෙක් වන්නට ඔබටත් ඉඩක් හිමි බව අප පැවසුවහොත්…? සිහි කිරීම් මාත‍්‍රයෙන් පවා බිය, තැතිගැනීම්, ලොමුඩහගැනීම් දුරු කරලන එ් පරම ශ්‍රේෂ්ඨ රාජධානියේ රැකවරණය දැනුදු ඔබට විවෘත බව අප පැවසුවහොත්…? ඔව්, අප එය ඔබට එසේ ම පවසනවා. විශ්වාසනීයව, තිරව, පැහැදිලිව ම පවසනවා…!

‘‘එ්වං බුද්ධං සරන්තානං
ධම්මං සංඝඤ්ච භික්ඛවෝ
භයං වා ඡුම්භිතත්තං වා
ලෝමහංසෝ න හෙස්සතී’ති”

‘‘මෙසේ පින්වත් මහණෙනි – සම්බුදු රජුන් හා
උතුම් සිරි සදහම් ද – ශ‍්‍රාවක සඟ රුවන ද
සිහි කරන විට ඔබ හට – බියක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩහගැනීමක් නො වන්නේ ම ය…”
(ධජග්ග සූත‍්‍රය)

ලොව එදා මෙදා තුර බිහිවූ නො බිඳිය හැකි, අභියෝග කොට ජය ගත නො හැකි මහා රාජධානිය නම් එ් බුද්ධ රාජ්‍යය ම යි. මිනිසෙකුට තබා දෙවියෙකුට, බඹෙකුට, මාරයෙකුටවත් පරදවාලිය නො හැකි මහා රජුන් නම් එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම යි. එ් ශ්‍රේෂ්ඨ රජුගේ් ශ්‍රේෂ්ඨ වූ රාජධානිය දේශ සීමා, ජාති භේද, වර්ණ භේද, ගිහි – පැවිදි භේද, ස්ත‍්‍රී – පුරුෂ භේද යන කිසිවකින් කිසි ලෙසකින් කැබලි වන්නේ නැහැ… එ් එක ම බුද්ධ රාජ්‍යයක්…! එ් බුද්ධ රාජ්‍යයේ එ්කීය භාවය කිසි විටක බිඳී යන්නේ නැහැ. එ් ධර්මරාජ වූ සම්බුදුරජාණන් වහන්සේ ස්වකීය රජු ලෙසත්, එ් මහානීය වූ ධර්ම රාජ්‍යය ස්වකීය රාජධානිය ලෙසත් පිළිගන්නා අයෙකු කවර මොහොතකවත්, කවර හේතුවක් නිසාවත් බෙදී වෙන් වී සිටින්නේ නැහැ. බුද්ධ රාජ්‍යයේ එ්කීයත්වය තුළ, සම්බුද්ධ රාජධානියේ ශ්‍රේෂ්ඨත්වය තුළ ඔවුන් තමන්ගේ රැුකවරණය පිළිබඳ නිසැක භාවයට පත් වනවා. එවන් පිරිසකට තම ආරක්ෂාව භාර දෙනු වස් රජ කෙනෙකු සොයා ගන්නට හෝ රාජධානියක් ගොඩ නගන්නට තවත් වරණයක් කිසිසේත් ම වුවමනා නැහැ. එ් හැම කෙනෙකුට ම වුවමනා පවිටු බලවේගයන් හමුවේ මේ රාජධානීය වළලා නො දමා සුරක්ෂිත කරගන්නා වූ ආරක්ෂකයන් පමණයි. එසේ ආරක්ෂකයන් වන්නේ දහම අනුදකින, දහමේ හැසිරෙන, දහමේ කලණ වැට නො සිඳ පවත්වා ගන්නා බුද්ධ ශ‍්‍රාවකයන් ම යි…

දසබලධාරී වූ එ් සම්බුද්ධරාජයාණන් වහන්සේට වඩා බලසම්පන්න වූ රජෙකු අප කොහෙන් සොයන්න ද? එ් අනුත්තරීය වූ ධර්ම රාජ්‍යයට වඩා ශ්‍රේෂ්ඨ වූ රාජධානියක් අප කෙසේ ගොඩ නගන්න ද? එ් ශ‍්‍රාවක සඟ පිරිසට වඩා උතුම් වූ පිරිවරක් අප කොතැනක දකින්න ද? එ් තථාගතයන් වහන්සේට සමාන වන මාණික්‍ය රත්නයක් මෙහි හෝ පරලොව හෝ කිසිදු තැනක නැහැ. එ් දහමට සම කළ හැකි කිසිවක් මේ ලෝකයේ නැහැ. එ් ශ‍්‍රාවක සඟ පිරිසට සම කළ හැකි වෙනත් පිරිසක් දෙව් මිනිස් ලෝකයේ නැහැ. එ් අග‍්‍ර වූ, අනුත්තරීය වූ, උත්කෘෂ්ට වූ සම්බුද්ධ රාජධානියේ, සම්බුද්ධරාජයාණන් වහන්සේ හැර අපට තවත් රජෙකු කුමකට ද?

අප රොද බැඳ ගත යුත්තේ එ් අද්විතීය නායකත්වය වටා ම යි. එවිට අප එ් සොඳුරු ආඥාදායකයාගේ ධර්ම චක‍්‍රයෙන් මෙහෙයවනු ලබන්නන් බවට පත් වනවා. කවරෙකු හෝ එ් සම්බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඔහු එ් සම්බුද්ධ රාජ්‍යයේ වැසියෙක්. සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දී බ‍්‍රාහ්මණ, ක්ෂතී‍්‍රය, වෛශ්‍ය, ශුද්‍ර යනාදී භේදයන් සම්බුද්ධ ශාසනයේ දකින්නට ලැබුණේ නැහැ. එ් කවර කුලගොත් දැරුවත් සම්බුද්ධ ශාසනයට ඇතුළු වූවායින් පසු සියල්ලෝ සම්බුදු සව්වන් බවට පත් වුණා. අදත් යම් කෙනෙක් සම්බුදුරජුන් සරණ ගොස් දහමේ පිහිටා කටයුතු කරනවා නම් එ් කෙනාගේ ශ‍්‍රාවකත්වයට ජාති, වර්ණ, භාෂා, පක්ෂ පාට භේදයක් පනවන්නට බැහැ. මෙකී කාරණා නිසා අප කවරෙකු හෝ බෙදී වෙන් වනවා නම් අප තව දුරටත් සම්බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකත්වයේ පිහිටා, සම්බුද්ධ රාජ්‍යය නම් වූ එ්කීය රාජ්‍යයේ සම්බුද්ධරාජයාණන් වහන්සේව එකම රජු ලෙස හිස් මුදුනේ දරා ගත්තවුන් වන්නේ නැහැ.

සියලූ බෞද්ධයන් එ්කරාශි විය යුත්තේ එ් නායකත්වය වටා ම යි. දෙව් මිනිස් ලෝකයා හමුවේ පිළින දී තිබෙන පරිද්දෙන් ම එ් දම්රජාණන් වහන්සේ ධර්මය ම ඇසුරු කරගෙන, ධර්මයට ම සත්කාර ගරුකාර කරමින්, ධර්මයට ම පුද පූජා පවත්වමින්, ධර්මය ම ධජයක් ලෙස තබා ගනිමින්, ධර්මය ම කොතක් ලෙස තබා ගනිමින්, ධර්මය ම අධිපති භාවයට පත් කර ගනිමින්, සිව්වනක් පිරිසට ධාර්මික රැුකවරණය සලසා දෙනවා. එවන් නායකයෙකුගේ, එවන් රජ කෙනෙකුගේ, කිසිවෙකුට ආපසු හැරවිය නො හැකි ධාර්මික ආඥා චක‍්‍රයට අවනතව සම්බුද්ධ රාජ්‍යයේ වාසය කරන්නට ලැබීම වචනයෙන් පමණ කළ නො හැකි භාග්‍යයක් ම යි. එ් දම්රජාණන්ට හිමි තැන අන් කිසිවෙකුට දිය යුතු නැහැ. එ් දම්රජාණන් හැර තව රජ කෙනෙකු හෝ එ් ධාර්මික ප‍්‍රතිපදාව හැර වෙනත් ප‍්‍රතිපදාවක් හෝ අප දිවි දෙවැනි කොට පුද සත්කාර කරමින් පවත්වා ගත යුතු නැහැ. අපමණ අගයකින් මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ප‍්‍රභාවත් කරමින්, අප‍්‍රමාදීව විජය ධජ ඔසවමින් එ් ධර්මරාජයාණන් වහන්සේගේ සම්බුද්ධ රාජ්‍යය තුළ ම නිවී සැනසෙන්නට අපට දුර්ලභ වූ භාග්‍යය උදා වේවා!

‘‘තිලොව සෙත සැලසීමෙන් -
භව දුකට පිහිට වීමෙන්
දහම් ඝොස පැතිරීමෙන් -
මොහඳුර නසාලීමෙන්
අම නිවන් සලසාලූ -
දම්රජාණන් වහන්සේ
සිහි කොට උතුම් සරණ මම් -
බුද්ධරාජා නමාමි…!”

ඔබත් කියවන්න.
ධම්මරාජ සූත‍්‍රය – අංගුත්තර නිකාය 3,
ධජග්ග සූත‍්‍රය – සංයුත්ත නිකාය 1.

හික්මීම යනු සොඳුරු ධර්මයකි

$
0
0

සීල සංවරය පිණිස උපදවාගත යුතු ආචාර ගෝචර සම්පන්න භාවය පිළිබඳව අපි නොයෙක් වර කථා කොට තිබෙනවා. මේ සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් තම ශ‍්‍රාවක සංඝරත්නය උදෙසා පුරුදු කර ගැනීමට ‘සේඛියා’ නම් වූ සිල්පද හැත්තෑ පහක් හඳුන්වා දී තිබෙන බව අප දන්නවා. සේඛියා කියන්නෙ පැවිදි ජීවිතයේ ඇවතුම් පැවතුම් තුළ හික්මීම පිණිස පැනවූ සිල් පදවලට යි.

ශ‍්‍රාවකයාට තමන්ගේ ජීවිතයේ සීලය පුරුදු කරන ක‍්‍රමය පිළිබඳ නිරවද්‍ය වැටහීමක් තිබිය යුතු යි. බුදුරජාණන් වහන්සේ පැනවූ සීල සංවරය ගැන ශ‍්‍රාවකයන් අතර නොයෙකුත් මතවාද පැතිර යනවා නම්, සීල දෘෂ්ටි ඇති වෙනවා නම්, ඔහුට සංසාර දුකෙන් නිදහස් වෙන පිළිවෙළ සිතේ නොවැඞීම නිසා, නැවතත් සසරේ ඉපදි ඉපදී යන්න සිදු වෙනවා. මේ අනතුරින් අත් මිදෙන්නට නම් අප විසින් කළ යුත්තේ එ් බුදුරජාණන් වහන්සේ විසින් කියා දුන් ආකාරයට ම සීලය පුරුදු කර ගැනීමයි.

අපි සාමාන්‍යයෙන් ජීවිතය පවත්වා ගන්නට ඇඳුම්, ආහාර, නිවාස, ඖෂධ ආදිය තමයි භාවිත කරන්නේ. අන්න එ් භාවිත කරන දෑ උපයා ගැනීම සඳහා අපි වීරියක් කළ යුතු යි. වීරියෙන් යුතුව අපි රැකී රක්ෂා කරල, වෙළහෙළඳාම් කරල මුදල් උපයල තමයි ඔය කියන පහසුකම් භාවිත කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ විසින් අපට මේ විදිහට කියා දෙනවා.

‘‘පින්වත් මහණෙනි, ඉතාමත් දුක සේ සම්පූර්ණ කර ගත යුතු වීර්යයන් දෙකක් මේ ලෝකයෙහි තියෙනවා. එ් දෙක මොනවා ද? ගිහි ගෙයි ජීවත් වෙන යම් කෙනෙක් ඇඳුම්, ආහාර, නිවාස, ඖෂධ ආදිය සඳහා කරන වීර්යයත්, එ් වගේ ම ගිහිගෙයින් නික්මිලා අනගාරික පැවිදි ජීවිතයට පැමිණි අය සියලූ කෙලෙසුන් අතහැරීම සඳහා කරන වීර්යයත් ය.

පින්වත් මහණෙනි, මේ තමයි මේ ලෝකයේ ඉතාමත් දුක සේ සම්පූර්ණ කර ගන්න තියෙන වීර්යයන් දෙක. පින්වත් මහණෙනි, සියලූ කෙලෙසුන් අත්හැරීම නම් වූ අමා මහ නිවන වෙනුවෙන් කරන යම් වීර්යයක් ඇද්ද, මේ වීර්යයන් දෙක අතරින් වඩාත් ම අග‍්‍ර වෙන්නෙ මෙයයි.”

බලන්න, හැමදාමත් දවස ගත කරමින් මුදල් උපයන්න අපි වීරිය කරනවා. එ් අපට හුරු පුරුදු වෙච්ච රටාවක් නේ ද? එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය දෑ ලබා ගන්න වීරිය කරන්න වෙන නිසා, මේ සද්ධර්මය සිතේ දියුණු වන ආකාරයේ දින චර්යාවක් පවත්වන්න අපට සිහි කල්පනාවක් නැහැ. අන්න එ් නිසා තමයි මේ ආකාරයේ ඇවතුම් පැවතුම් සංවර වන ආකාරයට අපි හික්මෙන්න ඕනැ. එදිනෙදා කරන කියන කටයුතු තුළ හිත පිරිසිදු වෙන රටාවක් නේ ද මේ සිල්පද තුළ හික්මෙනකොට අපට ඇති වන්නේ? එ් ආකාරයෙන් සිත පිරිසිදු වීම නිසා අපේ නීවරණ සන්සිඳෙන්න ගන්නවා. එ් එ් ක‍්‍රියාවේ කුසලය අකුසලය හඳුනා ගැනීමේ හැකියාව අපට උපදවා ගන්නට පුළුවන්කම ලැබෙනවා.

බුදුරජාණන් වහන්සේ විසින් සේඛියා සිල්පද මේ ආකාරයට පැවිදි ශ‍්‍රාවකයන් උදෙසා පෙන්වා දෙනවා.
1. පිරිමඬුලූ කොට සිවුරු අඳින්නෙමි යි හික්මිය යුතු ය.
2. පිරිමඬුලූ කොට සිවුරු පොරවන්නෙමි යි හික්මිය යුතු ය.
3. හොඳට සිවුරු පොරවාගෙන සංවරව ඇතුළු ගමට යන්නෙමි යි හික්මිය යුතු ය.
4. හොඳට සිවුරු පොරවාගෙන සංවරව ඇතුළු ගමෙහි හිඳින්නෙමි යි හික්මිය යුතු ය.

ගිහි ගෙයි ජීවත් වෙන යම් කෙනෙක් ඇඳුම් පැලඳුම්, ආහාර, නිවාස, ගිලන්පස බෙහෙත් ඖෂධ ආදිය ලබා ගැනීම සඳහා මහා වීරියක් කරනවා මෙන් ම ලබාගත් දෑ පරිහරණය කරන්නේ ලෝභ සිත් ඇතිවයි. සොර, ගිනි, ජල උවදුරුවලින් හානිවේදෝ යි බිය ඇතිවයි. නමුත් තමා පරිහරණය කරන දෑ සිත පිරිසිදු වන ආකාරයට භාවිත කරන්නට හැකි ක‍්‍රමයක් තිබෙනවා කියලවත් අපි අහල තිබුණ ද? නැහැ නේ ද?

තමා පරිහරණය කරන ඇඳුම් පැලඳුම් නිසා තමාගේ ජීවිතයේ සංවරයක් ඇතිවන බව අපි අත්දැකීමෙන් දන්නවා නේ ද? පාසල් යන්න, රැුකියා ස්ථානයට යන්න ‘නිල ඇඳුමක්’ තිබෙනවා නේ ද? එ් නිල ඇඳුම නිසා යම් සංවරයක් එ් ස්ථානයේ දී අපට ඇති කරගන්න පුළුවන්. එ් වගේ ම ආගමික සිද්ධස්ථානයකට යනවිට, උසාවියට යන විට, මළ ගෙදරකට – මඟුල් ගෙදරකට යන විට ඇඳුමක සංවරය ගැන අපි සැලකිල්ලක් දක්වනවා. අන්න එ් ඇඳුමේ සංවරය සිතේ සංවරයට බොහෝ උපකාරී වන දෙයක්. අසංවර වූ, අපිළිවෙළ වූ ඇඳුමක් අඳින කෙනාට අපහදින ස්වභාවයකුත් ලෝකයේ තිබෙනවා. ඇඳුමකින් උපදවන සංවරය ගැන මේ යුගයේ එතරම් සැලකිල්ලක් නැහැ. නමුත් ඇඳුමේ සංවරය බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයාට නම් සිතේ මහා දියුණුවක් ඇති කිරීමට හේතු වනවා.

අපි මඟ තොටේ යන විට නිදහසේ ඇවිද යන්න කැමතියි. නමුත් එ් නිදහස අන් අයගේ අපහසුවට කරුණක් නම්… ගැරහීමට කරුණක් නම්.. අන්න එ් කාරණය සිත් අපිරිසිදු කරන කාරණයක් වෙනවා. මඟ තොටේ අනුන්ගේ අපහාසයට ලක් වෙන අයුරින් ගියොත්, අනුන්ට හිරිහැර වන ආකාරයෙන් ගියොත්, අනුන්ට අකුසල් උපදවන ආකාරයෙන් ගියොත් එ්ක තමාගේත්, අනුන්ගේත් හිත අපිරිසිදු කරන කාරණයක් නේ ද? ශ‍්‍රාවකයා කියන්නෙ අනුන්ගේ ගැරහීමට ලක් නොවන චරිතයක්. ධර්මය තුළින් ගොඩනැඟුණු සංවරයක් ඇති චරිතයක්. බලන්න, බුදුරජාණන් වහන්සේ තම ශ‍්‍රාවක සංඝරත්නයට ගමේ හැසිරෙන ආකාරය මෙසේ පෙන්වා දෙනවා.

සංවරව, බිමට යොමු කළ ඇස් ඇතිව, සිවුරු ඔසවා නො ගත් කයින්, මහ හඬින් හිනා නො වී, නිශ්ශබ්දව, නො සෙල්වෙන කයින්, අත් නො පද්දවා, හිස නො පද්දවා, උකුලෙහි අත් නො තබාගෙන, හිස වසා පොරවා නො ගෙන, ඇතුළු ගමෙහි යෑම හෝ ඉඳගෙන සිටීම කරන ලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් සේඛියා සිල්පද පනවනු ලැබුවා. එ් වාගේ ම ගමේ වඩින විට ඇඟිලි තුඩුවලින් හා විළුඹෙන් ඇවිදිමින් නො යන ලෙසටත්, ඇතුළු ගමේ දී දෙඅත් පා වටා බැඳගෙන හෝ රෙදිවලින් දෙපා එතෙන ලෙස වාඩි නො වන ලෙසටත් අනුදැන වදාළා.

එ් වාගේ ම තමන් ආහාර ගන්නා විට නුසුදුසු චර්යා අනුගමනය කිරීම ශ‍්‍රාවකයාගේ ශ‍්‍රද්ධාව පිරිහවන කාරණයක් ම යි. පිිළිවෙළට ආහාර ගැනීම යනු තමාටත් පහසු දෙයක්. ඇවතුම් පැවතුම් සංවර වන කාරණයක්. දානය වැළඳීම පිළිබඳ සිල්පද මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් පනවා වදාළා.

සැලකිල්ලෙන්, තමාගේ අතේ පාත‍්‍රය තිබේ ය යන අදහසින්, බතට සරිලන ව්‍යඤ්ජන සහිතව, පාත‍්‍රය සමකොට පිණ්ඩපාතය බෙදාගෙන පිණ්ඩපාතය පිළිගන්නා ලෙසට අනුදැන වදාළා. එ් වාගේ ම සැලකිල්ලෙන් සකස් කොට, තමන් පාත‍්‍රයේ වළඳන බව සිත තබාගෙන, පාත‍්‍රයේ ඇති ආහාර දානය තමා දෙස පටන් වළඳන ලෙස අනුදැන වදාළා. බතට සරිලන ව්‍යඤ්ජන ඇතිව, පාත‍්‍රයේ ඇති දාන කොටසේ මුදුනින් අනා නො වළඳමින්, වැඩිපුර ගැනීමේ අදහසින් ලැබුණු ව්‍යඤ්ජන බතින් නො වසමින්, නො ගිලන්ව සිටිය දී තමා උදෙසා ආහාර සකස් නො කර ගනිමින්, උසුළු විසුළු කරන අදහසින් අනුන්ගෙ පාත‍්‍රය දෙස නො බලමින්, ඉතා ලොකුවට බත් ගුලි නො කරමින්, වටකුරු ව බත් පිඬු හදමින්, වැළඳිය යුතු බවයි අනුදැන වදාළේ.

බත් පිඬු ළං නො කර තිබිය දී මුඛය විවර නො කරමින්, වළඳන විට මුළු අත ම මුඛයේ නො බහාලමින්, බත් පිඬු මුඛයේ ඇතිව කතා බස් නො කරමින්, බත් පිඬු මුව තුළට දමා නො ගසමින්, අතට ගත් බත් පිඬ කඩ කඩා නො වළඳන්න යැයි අනුදැන වදාළා. එ් වගේ ම හක්ක පුරවාගෙන නො වළඳමින්, අතේ තැවරුණු ඉඳුල් ගස ගසා නො වළඳමින්, ඉඳුල් විසුරුවමින් නො වළඳමින්, දිව එළියට දම දමා නො වළඳමින්, චපු චපු ශබ්දයෙන් නො වළඳමින්, සුරු සුරු ශබ්දයෙන් නො වළඳමින්, අත ලෙවකමින් නො වළඳමින්, පාත‍්‍රය ලෙව කමින් නො වළඳමින්, තොල් ලෙව කමින් නො වළඳමින්, ඉඳුල් අතින් පැන් බඳුන නො පිළිගෙන, පාත‍්‍රය සේදූ ඉඳුල් වතුර ඇතුළු ගමේ නො දමා, ඇවතුම් පැවතුම් තුළ සංවර වන ලෙස භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළා.

බලන්න පැවිදි ශ‍්‍රාවකයාට ලබා දුන් සංවරය ලෝකයට ම ආදර්ශවත්. පැවිදි දිවිය තුළ සංවර වීම සඳහාත්, හික්මීම සඳහාත් එ්කාන්ත උපකාරයක්. එසේ නම් වැඩ කටයුතු අධික ගිහි උපාසක උපාසිකා පිරිසක් ලෙස ඔබත් මේ අවවාද ගෞරවයෙන් අසන්න ඕනැ. අවවාද අසා තමාගේ ශ‍්‍රාවක ජීවිතයේත් ඇවතුම් පැවතුම් ගිහි ජීවිතයට ගැළපෙන පරිදි සංවර කර ගන්නට උනන්දු වෙන්න ඕනැ.

ආහාර ගැනීම පිළිවෙළකට සිදු කරන විට එය දකින පිරිසට කොච්චර සුන්දර දෙයක් ද? තමාගේ හික්මීමට එ්ක කොච්චර උපකාරයක් ද? සිත පිරිසිදු වන, සිතේ පිළිවෙළට ධර්මයන් පුරුදු කිරීමට උපකාර වන එ් මනා හික්මීම අපිත් හොඳින් හිතා බලා පුරුදු කර ගන්න ඕනැ. කාර්යබහුල ජීවිතයේ කලබලයට ආහාර ගැනීමක් තමයි අපට හුරු වෙලා තියෙන්නෙ. එ්ත් අපිළිවෙළට ආහාර ගැනීම තමාගේ සිතටත් කයටත් අපහසුවක් ම යි ඇති කරන්නේ.

අප සියලූ දෙනාට ම එදිනෙදා ගත කරන සෑම ක‍්‍රියාවක් ම ධර්මයක් පුරුදු කිරීමක් මඟ හැරෙන දෙයක් වෙනවා නම්.. කෙතරම් දුක් සහිත ද? නමුත් තමාගේ ජීවිතයේ, හෑම මොහොතක් ම සන්සිඳෙන්නේ එ් එ් මොහොතේ ධර්මයක් දැන ගැනීමෙන්; එමෙන් ම දැක ගැනීමෙන්. අප සියලූ දෙනාට ඇවතුම් පැවතුම් සංවර කර ගැනීම පිණිසත්, එ් තුළින් නිවන් මග විවර කර ගැනීම පිණිසත් මේ දහම් කරුණු හේතු වේවා..!

සංඝානුස්සති භාවනාව පුරුදු කරමු

$
0
0

අපගේ ශාස්තෘ වූ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තම ශ‍්‍රාවක වූ ආර්ය සංඝරත්නය ගැන අග්ගප්පසාද නම් සූත‍්‍ර දේශනාවේ දී මෙසේ වදාළා.‘
‘‘පින්වත් මහණෙනි, ලෝකයේ යම්තාක් පිරිස් වේවා, ජන සමූහයක් වේවා, මේ තථාගත ශ‍්‍රාවක සඟරුවන ම යි එ් සියලූ පිරිස්වලට වඩා අග‍්‍ර වන්නේ. උන් වහන්සේලා උතුම් යුගල වශයෙන් හතරක් වෙනවා. වෙන් වෙන් වශයෙන් උතුම් පුරුෂ පුද්ගලයෝ අටදෙනයි. එ් භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සඟරුවන ආහුණෙය්‍යයි, පාහුණෙය්‍යයි, දක්ඛිණෙය්‍යයි, අංජලිකරණීයයි. ලොවට උතුම් පින් කෙතයි. පින්වත් මහණෙනි, එබඳු ශ‍්‍රාවක සඟපිරිසක් කෙරෙහි පැහැදුනේ නම් ඔවුන් පැහැදී සිටින්නේ අග‍්‍ර වූ පිරිසකටයි. අග‍්‍ර වූ පිරිසකට පැහැදුන විට අග‍්‍ර වූ සැප විපාක ලැබෙනවා.”‘

තව ද එ් ශ‍්‍රාවක සංඝරත්නය අතර අගතැන්පත් සීලයෙන්, සමාධියෙන්, ප‍්‍රඥාවෙන් පරිපූර්ණව නිකෙලෙස් හදමඩුලූ දැරූ උත්තම රහතන් වහන්සේලා ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

‘‘පින්වත් මහණෙනි, යම්තාක් සත්තාවාස ඇද්ද, යම්තාක් භවාග‍්‍ර ඇද්ද එ් සියල්ලෙහි ම අග‍්‍ර වන්නේ, ශ්‍රේෂ්ඨ වන්නේ රහතන් වහන්සේලා ය. (යාවතා භික්ඛවේ සත්තාවාසා, යාවතා භවග්ගං එ්තේ ඛෝ සෙට්ඨා, එ්තේ ඛෝ අග්ගං යදිදං අරහන්තෝ’ති).”

ගණනින් සීමා කළ නො හැකි වූ එ් අපරිමිත අෂ්ටාර්යපුද්ගල ශ‍්‍රාවක සඟරුවනේ උත්තම ගුණ සමුදාය මෙනෙහි කරමින් වඩන භාවනාව ‘සංඝානුස්සතිය’ කියා හඳුන්වනවා.
සංඝානුස්සති භාවනාව පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

‘‘පින්වත් මහණෙනි, එක ම එක දෙයක් භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත් එ්කාන්තයෙන් ම අවබෝධයෙන් ම කලකිරීම පිණිස ම, නොඇලීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, අමා මහ නිවන පිණිස ම පවතිනවා. එ් එක දෙය නම් සංඝානුස්සතියයි.”

තව ද සංඝානුස්සති භාවනාවේ ආනිශංස, සම්බුදුරජාණන් වහන්සේ මහානාම නම් ශාක්‍ය රජුහට මෙලෙසින් ද වදාළා.

‘‘මහානාමයෙනි, ආර්ය ශ‍්‍රාවකයා සංඝරත්නයේ ගුණ සිහි කරමින් සංඝානුස්සතිය වඩයි. එසමයෙහි ඔහු තුළ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත සංඝරත්නයේ ගුණ අරබයා ඍජු බවට පත්වූයේ වෙයි. ඍජූ බවට පත්වූ සිත් ඇති ආර්ය ශ‍්‍රාවකයා අරුත් මෙනෙහි කරමින් සතුට ලබන්නේ ය. ධර්මය තුළින් සතුට ලබන්නේ ය. ධර්මයෙන් හටගත් ප‍්‍රමුදිත බව ලබන්නේ ය. ප‍්‍රමුදිත වූ කෙනාට ප‍්‍රීතිය උපදියි. ප‍්‍රීති සිත ඇති කෙනාගේ කය සන්සිඳෙයි. සන්සිඳුන කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙයි.
මහානාමයෙනි, මේ ආර්ය ශ‍්‍රාවකයා රාග, ද්වේෂ, මෝහ ආදියෙන් විෂම බවට ගිය ප‍්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි ම කියා ද දුක් සහිත ප‍්‍රජාව අතර නිදුක්ව වාසය කරයි කියා ද දහම් සැඩ පහරට පැමිණියේ සංඝානුස්සතිය වඩයි කියා ද කියනු ලැබේ.”

ධම්ම පද ගාථා රත්නයන්හි දී සංඝානුස්සතිය වඩන ශ‍්‍රාවකයා ගැන භාග්‍යවතුන් වහන්සේ මෙලෙසින් ද වදාළා.

‘‘යමෙක් දහවලටත්, රාත‍්‍රියටත් නිතර ම සංඝානුස්සති භාවනාවේ යෙදෙනවා නම්, ගෞතම බුදුසමිඳුන්ගේ එ් ශ‍්‍රාවකයෝ හැමදාම ඉතා ප‍්‍රබෝධවත්වයි පිබිදෙන්නේ.”

තවත් අවස්ථාවක දී විශාඛා උපාසිකාවට සංඝානුස්සතිය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

‘‘පින්වත් විශාඛා, මෙහිලා ආර්ය ශ‍්‍රාවකයා ආර්ය සංඝරත්නයේ ගුණ සිහි කරනවා. එවිට ඔහුගේ සිත පහදිනවා. ප‍්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේෂ ඇත්නම් එ්වා ප‍්‍රහාණය වෙනවා. මෙයට තමයි කියන්නේ ආර්ය ශ‍්‍රාවකයා සංඝ උපෝසථයෙන් වාසය කරනවා කියලා.”

මේ ආකාරයට මහත්ඵල මහානිශංස ලබාදෙන අග‍්‍ර වූ පින් රැස් වෙන සංඝානුස්සති භාවනාව අපි කවුරුත් නිරන්තරයෙන් පුරුදු පුහුණු කර ගනිමු. බුදුරජාණන් වහන්සේ වදාළා,

‘‘පින්වත් මහණෙනි, ඔබ සිංහ නාද කරන්න,.. පළමුවෙනි ශ‍්‍රමණයා වන සෝතාපන්න ශ‍්‍රාවකයා, දෙවෙනි ශ‍්‍රමණයා වන සකදාගාමී ශ‍්‍රාවකයා, තුන්වන ශ‍්‍රමණයා වන අනාගාමී ශ‍්‍රාවකයා, හතරවන ශ‍්‍රමණයා වන රහතන් වහන්සේ යන ශ‍්‍රාවකයන් දැකිය හැක්කේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති බුද්ධ ශාසනයක දී පමණයි කියා.” එ් ශ‍්‍රාවකයන් වහන්සේලා සදාකාලික පිවිතුරු ජීවිතයක් පතාගෙන නිමල ගමනක නිමල ගමනක යෙදුන පිවිතුරු පිරිසක්. එ් නිසා බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සඟරුවන ගැන නිරන්තරයෙන් ම සිහි කරමින්, ශ‍්‍රද්ධාව දියුණු කරගෙන අපිත් සැබෑ ම ශ‍්‍රාවකයන් බවට පත් වී උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනිමු.

සංඝානුස්සති භාවනාව

සුපටිපන්න ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය රාග, ද්වේෂ, මෝහ දුරු කර ගැනීම පිණිස සීල, සමාධි, ප‍්‍රඥා සංඛ්‍යාත ති‍්‍රවිධ ශික්ෂාවෙහි හික්මෙන වැඩපිළිවෙළකට පිළිපන් හෙයින් සුපටිපන්න වන සේක.
මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ සුපටිපන්න වූ ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමී. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ සුපටිපන්න වූ ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා…!

උජුපටිපන්න ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය ඍජු මාර්ගය නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට පිළිපන් හෙයින් උජුපටිපන්න වන සේක.
මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ උජුපටිපන්න වූ ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමී. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ උජුපටිපන්න වූ ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා…!

ඤායපටිපන්න ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට පිළිපන් හෙයින් ඤායපටිපන්න වන සේක.
මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ඤායපටිපන්න වූ ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමී. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ඤායපටිපන්න වූ ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා…!

සාමීචිපටිපන්න ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය මහත් වූ ධර්ම ගෞරවයකින් යුක්තව එ් ශ‍්‍රී සද්ධර්මය ම ලෝකයෙහි පතුරුවා හරින හෙයින් සාමීචිපටිපන්න වන සේක.
මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ සාමීචිපටිපන්න වූ ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමී. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ සාමීචි පටිපන්න වූ ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා…!

එ් භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය…
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය සෝවාන් මාර්ග-ඵල ලාභී, සකදාගාමී මාර්ග-ඵල ලාභී, අනාගාමී
මාර්ග-ඵල ලාභී, අරහත් මාර්ග-ඵල ලාභී වශයෙන් ගත් කළ උතුම් ශ‍්‍රාවක යුගල සතරක් වන්නාහු ය.
වෙන් වෙන් වශයෙන් ගත් කළ සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් ශ‍්‍රාවකයා ය. සෝවාන් වූ ශ‍්‍රාවකයා ය. සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් ශ‍්‍රාවකයා ය. සකදාගාමී වූ
ශ‍්‍රාවකයා ය. අනාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් ශ‍්‍රාවකයා ය. අනාගාමී වූ ශ‍්‍රාවකයා ය.
අරහත් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් ශ‍්‍රාවකයා ය. අරහත් වූ ශ‍්‍රාවකයා ය යනුවෙන් උතුම් ශ‍්‍රාවක පුද්ගලයන් අට දෙනෙක් වන්නේ ය.
භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය යුගල වශයෙන් සතරක් ද පුද්ගල වශයෙන් අටක් ද වන සේක.
මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ යුගල වශයෙන් සතරක් වූ, පුද්ගල වශයෙන් අටක් වූ උතුම් ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමී.
මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ යුගල වශයෙන් සතරක් වූ පුද්ගල වශයෙන් අටක් වූ උතුම් ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා…

ආහුණෙය්‍ය ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ මාර්ග ඵල ලාභී උතුම් සංඝරත්නය පුද පූජා ලැබීමට සුදුසු වන සේක. දුර සිට හෝ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදිය පිළියෙල කොට පූජා කිරීමට සුදුසු හෙයින් ආහුණෙය්‍ය වන සේක.
මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ආහුණෙය්‍ය වූ ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමී. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ආහුණෙය්‍ය වූ ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා…!

පාහුණෙය්‍ය ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ මාර්ග ඵල ලාභී උතුම් සංඝරත්නය ආගන්තුකයන් වශයෙන් වැඩම කළ කල්හි පවා සිව්පසයෙන් උපස්ථාන කිරීමට සුදුසු හෙයින් පාහුණෙය්‍ය වන සේක.
මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ පාහුණෙය්‍ය වූ ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමී. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ පාහුණෙය්‍ය වූ ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා…!

දක්ඛිණෙය්‍ය ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ මාර්ග ඵල ලාභී උතුම් සංඝරත්නය මෙලොව පරලොව පින් සලකාගෙන, මහත්ඵල මහානිශංස සලකා ගෙන සිව්පසයෙන් පූජා ලැබීමට සුදුසු හෙයින් දක්ඛිණෙය්‍ය වන සේක.
මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ දක්ඛිණෙය්‍ය වූ ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමී. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ දක්ඛිණෙය්‍ය වූ ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා…!

අංජලිකරණීය ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ මාර්ග ඵල ලාභී උතුම් සංඝරත්නය දෙව් මිනිස් ලෝකයාගේ වන්දනා මානනයට, ගෞරවාභිවාදනයට සුදුසු වන හෙයින් අංජලිකරණීය වන සේක.
මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ අංජලිකරණීය වූ ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමී. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ අංජලිකරණීය වූ ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා…!

අනුත්තර වූ පින් කෙත
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ මාර්ග ඵල ලාභී උතුම් සංඝරත්නය දෙව් මිනිස් ලෝකයා හට පින් රැුස්කර ගැනීම පිණිස හේතු වූ අනුත්තර වූ පින්කෙත වන සේක. මෙසේ දෙව් මිනිස් ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමී. මෙසේ දෙව් මිනිස් ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා…!ı

ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට වන්දනා කළ මැනැව!

$
0
0

මහා පුරුෂයෙක් පිරූ පුණ්‍ය පාරමී බලයෙන් මේ ධරණීමාතාව එක ම කල්පයක් තුළ සිව්වන වරටත් කම්පා වූවා ය. තමන් ව ස්පර්ශ කළ දකුණත අපමණ ශ‍්‍රද්ධා භක්තියෙන් දරා ගත් ඕ තොමෝ සැලී ගියා ය. දස බිම්බරක් සේනා පිරිවරාගෙන, උතුම් වජ‍්‍රාසන භූමියේ හිමිකම කියමින් ගිරිමේඛලා ඇතු පිට නැගී හුන් පාපී මාර තෙමේ බිම ඇද වැටුණේ ඇයගේ කම්පා වීමෙනි. එ් ඇද වැටීම ලොව වෙලා ගත් පාපී බලවේගය ඉක්මවා ගිය මහා ප‍්‍රඥලෝකයේ පහළ වීම සනිටුහන් කරන ලද්දේ ය.

සමාහිත සිතින් පිරිසිඳ දකිමින් දුක ද දුකට හේතුව ද දුක නිරුද්ධ කිරීම ද දුක නිරුද්ධ කරන මාර්ගය ද සත්‍ය ඤණ, කෘත්‍ය ඤණ, කෘත ඤණ වශයෙන් අවබෝධ කොට ගනිමින් එ් ගෞතම සිද්ධාර්ථ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධාභිෂේකයෙන් පිදුම් ලද සේක. දහම් ඇස පහළ විය. ඤණය පහළ විය. ප‍්‍රඥව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. අවිදු අඳුරෙන් වැසී ගත් ලොව ප‍්‍රභාෂ්වර ඤණාලෝකයෙන් ආලෝකවත් විය.

එ් මහා පුරුෂයාණෝ අවසන් සිරුර දරා ගනිමින් මනුලොව වැඩම කළ මොහොතේ මිහිකතගෙන් පැන නැගි සත් පියුමන් සිරිපා කමල් දරා ගත්තේ අපරිමිත පුණ්‍යානුභාවයට පූජෝපහාර පරිද්දෙනි. සතලිස් පස් වසරක් පුරා දම් අමාවෙන් දෙව් මිනිස් ලෝකය සනසාලූ එ් විශාරද ගුණ මුහුදාණන් වහන්සේ පිරිනිවී වැඩි කල්හි ද අනේකවිධ පුද පූජාවන් සිදු කෙරුණේ අග‍්‍රදක්ඛිණ්‍යෙය වූ මහා මුනිඳාණන්ගේ ශ්‍රී නාමයෙනි.

තුන්ලොවක් සුවපත් කරන එක ම එක මහා පුරුෂයාණන් වහන්සේනමකගේ පහළ වීම ද සම්මා සම්බුද්ධාභිෂේකය ද පිරිනිවීම ද සනිටුහන් වූ මේ වෙසක් පුන් පොහෝ දිනය මනුලොව මිනිසුන්ගේ පමණක් නොව දෙව්ලොව දෙවියන්ගේ ද බඹ ලොව බඹුන්ගේ ද සැදැහැවත් පුණ්‍යාභිවන්දනයට ලක් වන්නේ ම ය. ඔවුහු එ් ආජාන්‍යෙය වූ, මහානුභාව සම්පන්න වූ පුරුෂයාණන් වහන්සේට දුර සිට ද වන්දනා කරන්නෝ ය. ළඟ සිට වැඳීම ගැන කවර කථා ද?

‘‘දූරතෝ’ව නමස්සන්ති
මහන්තං වීතසාරදං
නමෝ තේ පුරිසාජඤ්ඤ
නමෝ තේ පුරිසුත්තම”

‘‘දුර සිට ම වඳින්නාහු ය
මහානුභාව සම්පන්න වූ – විශාරද බවට පත් වූ
ආජාන්‍යෙය පුරුෂයාණෙනි!
ඔබ වහන්සේට නමස්කාර වේවා!
පුරුෂෝත්තමයාණෙනි, ඔබ වහන්සේට නමස්කාර වේවා!”
(ආටානාටිය සූත‍්‍රය)

දිවා රැය දෙකෙහි ම වන්දනා කළ යුත්තේ උන් වහන්සේට ම ය. ලොව පරම දුර්ලභ වූ එ් පුරුෂෝත්තමයාණන් වහන්සේගේ නාමයෙන් පිළිවෙත් පුරන්නට ලැබීම සුළු කොට තැකිය නො යුතු ය. මේ වනාහී අති දුර්ලභ වූ ක්ෂණ සම්පත්තියක උරුමය යි. එ් උරුමය නිසා ම ධර්මය අසන්නට ලැබීම යහපත් ය. එ් ඇසූ ධර්මය දරා ගැනීම ඉතා යහපත් ය. එ් අසා දරාගත් ධර්මය පුරුදු පුහුණු කිරීම වඩාත් යහපත් ය. ගෞතම සම්මා සම්බුදු ශ‍්‍රාවකයන් වූ අප කළ යුත්තේ එ් වඩාත් යහපත් දේ නො වන්නේ ද?

ශාන්ත වූ – ප‍්‍රණීත වූ අමා මහ නිවනට මඟ කියන; අවබෝධයෙන් ම කලකිරීම පිණිස, විරාගය පිණිස, කෙලෙස් බැහැර කිරීම පිණිස, සන්සිඳීම පිණිස, විශේෂ ඤණයන් උපදවා ගැනීම පිණිස, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මඟ කියන එ් තථාගත ශ්‍රී සද්ධර්මය සියල්ලෝ සිරසේ දරා ගනිත්වා! එ් දරා ගත් දහම තුළ අවබෝධය උපදවා ගනිමින් නිරන්තරයෙන් ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට වන්දනා කරත්වා!!!

මහාමේඝ 2015 වෙසක් කලාපය
WWW.MAHAMEGHA.LK

රැකගත යුතු සම්පතකි සීලය

$
0
0

සිල්වත් වීම කියන්නෙ මොකක්ද? යමෙක් සිල්වතෙක් වන්නේ කවර කරුණු මත ද? භාග්‍යවතුන් වහන්සේ මහානාම ශාක්‍යයාට කියා දෙනවා. ‘‘මහානාමයෙනි, යම් කලක පටන් උපාසකයා සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි ද, සොරකමින් වැළකුණේ වෙයි ද, වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි ද, බොරු කීමෙන් වැළකුණේ වෙයි ද, මත්පැන්,මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි ද, මහානාමයෙනි, මෙපමණකින් උපාසක තෙමේ සිල්වතෙක් වෙයි.” මෙය ශ‍්‍රාවකයාට සීල සම්පත්තියක් ලෙස ද බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ‘සම්පතක්’ කියන්නෙ තමාටත් අනුන්ටත් අගය පිණිස පවතින දෙයක් නේ ද?

සීලය තමාට සම්පතක් වෙන්නේ කොහොම ද? සිල් පද ආරක්ෂා කිරීමෙන් සිතට ලැබෙන රැකවරණය ම ඔහු ලබන සම්පතක්. භාග්‍යවතුන් වහන්සේ පැනවූ සිල් පද රකින උපාසක ශ‍්‍රාවකයා සිල්වත් කෙනෙක්. අන්න එ් සීලයේ ඔබ හික්මෙනවා නම් එයින් වඩාත් සතුටක් ඇති කර ගන්න ම යි ඕන. ලෝකයෙන් යහපත බලාපොරෙත්තු වෙන්න නම් බැහැ. එ් වගේ ම ලෝකයේ ‘රැල්ලට’ අහු වෙලා පාපයට යොමු වූ සිත් ඇති තැනැත්තාට සීලය රැකීමේ උනන්දුවක් නැහැ. පාපී සිතේ ම වෙළෙමින් ගත කරන ජීවිතයේ ඔහුට ආස්වාදයක් ම යි තිබෙන්නේ. එ් ආස්වාදයට ම අලගු තියන්නට, රුකුල් දෙන්නට හැදුණු ලෝකයක ම යි නේ ද ජීවත් වෙන්නට සිදු වෙලා තිබෙන්නේ? පාපයට සත්කාර සම්මාන දෙන ලෝකයක, පාපයේ ගැලීම ජීවිතය යැයි පෙන්වන ලෝකයක, ජීවිතයේ සුන්දරත්වය තිබෙන්නේ පාපයක යැයි පෙන්වන ලෝකයක, සිතට රැුකවරණයක් කොයින් ද? පාපයට බර ජීවිතයකට ම යි තනතුරු තානාන්තර ලැබෙන්නේ. පාපී ක‍්‍රියාවෙන් ජීවත්වෙන්නන්ට ම යි ලොව පාලනයක් ලැබෙන්නේ. එහෙනම් අපේ ජීවිතයට පාපී ඇසුරක් ලැබීම කියන්නෙ සාමාන්‍ය දෙයක් වෙලා නො වේ ද? දසත පෙනෙන ලෝකයෙන් ලැබෙන ඇසුර පාපී දෙයක් නම්, සිත යහපතේ යෙදෙනවා කියන එක නොවෙන දෙයක් ම යි. තමන් ඇසුරු කරන මිත‍්‍රයා තමන්ට ම අගුණය පෙන්වා දෙන ලෝකයක කොහොම නම් සිල් රකින්න ද? භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා, ‘‘…පාප මිත‍්‍රයන් ඇති බව සීලයට අනතුරකි….” යනුවෙන්.
(ඉට්ඨධම්ම සූත‍්‍රය – අං. නි. – 6)

එ් වගේ ම මහා කාරුණිකයාණන් වහන්සේ අපට මේ විදිහටත් දේශනා කොට වදාරණවා. ‘‘මහණෙනි, කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ මිතුරන්ගේ ඇසුරට වැටුණු භික්ෂුව විසින් මෙය කැමති විය යුත්තේ ය. සිල්වත් වන්නේ ය, ප‍්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වන්නේ ය, යහපත් ඇවතුම් පැවතුම් ඇතිව වසන්නේ ය, අනුමාත‍්‍ර වූ වරදෙහිත් බිය දකින සුලූ ව සමාදන් වූ ශික්ෂා පදයන්හි හික්මෙන්නේ ය යන කරුණ යි.”
(සම්බෝධිපක්ඛිය සූත‍්‍රය – අං. නි. – 5)

අපේ ජීවිතයට අනතුරු සහිත පාප මිත‍්‍ර ඇසුර වළක්වා නො ගන්නා තාක්, සීලය තුළ හිත හික්මෙනවා කියන කාරණය සිදු නොවෙන දෙයක්. ඇයි එ්? සිල් රකින්න දෙනවා ද පාප මිත‍්‍රයා? කවදාවත් නැහැ. ‘‘ඔය පොඩි පොඩි සත්තු මරන එක පාපයක් නෙවෙයි” කියල තමාගේ සිතත් කෙලෙසෙන අදහස් එන්නේ ම පාප මිත‍්‍රයාගෙන්. ”ඔය අනුන් ළඟ තියන වැඩිපුර දේවල් ගත්තට මොකද වෙන්නෙ?” කියනව. ‘‘එ් එ් අය කැමති නම් ඕන තරම් මිනිස්සු කාම සේවනය කළාට එ්කෙ වරදක් දකින්නෙ කොහොම ද?” කියනව. ”බොරුවක් කියල හරි තමන්ගෙ වැඬේ කර ගත්තාම පහසුයි නම් ඉතින් බොරුව කිව්වා ම වරදක් නෑ නෙ” කියනව. ”රා අරක්කු හොඳ නෑ තමයි. එ්ත් ඉතින් ඔය සැර අඩු මත්ද්‍රව්‍ය ගත්තට මොකද වෙන්නෙ” කියනව. මේ වගේ පාපී අදහස් වපුරුවන පාප මිත‍්‍රයාගේ ඇසුර නිසා ම යි සිත කෙලෙසෙන්නෙ.
ඉතින් මේ සිත කෙලෙසෙන ගතිය දුරුකර ගන්න එක ම යි හොඳ. සිත කෙලෙසෙන්නෙ අකුසලයෙන් නේ ද? බලන්න බුදුරජාණන් වහන්සේ මහානාම ශාක්‍යයාට කියා දෙනව.

‘‘මහානාමය, යම් කලෙක ආර්ය ශ‍්‍රාවකයා සීලය සිහි කරයි ද, එකල ඔහුගේ සිත රාගයට යටවන්නේ නො වෙයි. ද්වේෂයට යට වූ සිත් ඇත්තේ නො වෙයි. මෝහයට යට වූ සිත් ඇත්තේ නො වෙයි. එකල ඔහුගේ සිත සීලය අරබයා ඍජුව පවතින්නේ ය. මහානාම, ඍජු වූ සිත් ඇති ආර්ය ශ‍්‍රාවකයා යහපතෙහි සතුට ලබයි. ධර්මයෙහි සතුට ලබයි. ධර්මයෙන් යුතු වූ ප‍්‍රමුදිත බව ලබයි.
ප‍්‍රමුදිත බව ඇත්තහුට ප‍්‍රීතිය උපදියි. ප‍්‍රීති සිත් ඇත්තහුගේ කය සන්සිඳෙයි. සන්සිඳුණු කය ඇත්තේ සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. මහානාමය, මෙම ආර්ය ශ‍්‍රාවකයා විසමගත සමාජයෙහි සම බවට පැමිණ වසන්නේ යැයි කියනු ලැබේ. දුක සේ වසන සමාජයෙහි නිදුක් ව වසන්නේ යැයි කියනු ලැබේ. දහම් මගට පැමිණියේ සීලානුස්සතිය දියුණු කරන්නේ යැයි කියනු ලැබේ.”
(මහානාම සූත‍්‍රය – අං. නි. – 6)

රාග ද්වේෂ මෝහ සදහට දුරු කරන මේ නිවන් මඟ කියන්නෙ ආරම්භයේ දී ම සීලයෙන් පිරිසිදු කර ගනිමින් වාසය කරන්න ඕනැ එකක්. සිත සීලයට නො නැමෙන පාප මිත‍්‍ර ඇසුරු කරන්නා හට එ් සීලයේ ගුණ සිතන විට කෙලෙස් යටපත් වනවා කියන්නෙ කෙතරම් ලාභයක් ද? භාවනාවක් ලෙස සීලානුස්සතිය පුරුදු කරමින් සිටින ඔහු හට සීලය අරබයා ඍජුව පවතින සිතක් නො වේ ද ඇති වෙන්නේ? අන්න එ් ඍජුකම නැති අලාභය නිසා ම අපිට සිදු වෙන පුංචි සීල අසංවරයක්, සීලයේ පළුද්දක් එතරම් ගණනකට ගන්නේ නැහැ. අන්න එ් ලැජ්ජා බය ප‍්‍රහාණය වුණ සිතට නැවත නැවතත් එ් සීල අසංවරය ඇති කරගන්නට කිසි ම පැකිලීමක් නැහැ.

නමුත් සීලානුස්සතිය සිතමින් ඍජු වූ සිත් ඇති ආර්ය ශ‍්‍රාවකයාට තමාගේ ජීවිතය යහපතෙහි යොදවා, එයින් සතුට ලබන්නට හැකි නො වේ ද? ඔහු සැබෑ ලෙස ම ධර්මයෙහි සතුට ලබන්නෙක් ම යි. ධර්මයෙන් යුතු වූ නැවුම් සිතකින් වාසය කරනව. අන්න එ් ප‍්‍රමුදිත බව උපදවාගෙන වාසය කරන කෙනා බණ භාවනා ප‍්‍රගුණ කරන විට සිතේ ප‍්‍රීතිය උපදිනවා. ප‍්‍රීති සිත් ඇත්තාගේ කය සන්සිඳෙනවා. සන්සිඳුණු කය ඇත්තා සැපයක් විඳිනවා. එසේ සැපයෙන් වාසය කරන්නාගේ සිත සමාධිමත් වෙනවා නේ ද?

එසේ නම් අපි මේ සීලය රකිනවා කියන කාරණය සජීවී ව පවත්වන කෙනෙක් වෙන්න ඕනෑ. එ්කට උපකාර වන ඉතා ම වැදගත් කාරණයක් තමයි අපි අද ඉගෙන ගත්තේ. එ් ශ‍්‍රාවකයා තමන් රකින සීලය සිහි කරමින් සීලානුස්සතියේ යෙදෙන විට ඔහුට ලැබෙන ආනිශංස දැන් අපි ඉගෙන ගත්තා. අන්න එ් ශ‍්‍රාවකයා කොහොම කෙනෙක් ද? ඔහුට විසමගත සමාජයෙහි සම බවට පැමිණ වසන්නේ යැයි කියනවා. දුක සේ වසන සමාජයෙහි නිදුක් ව වසන්නේ යැයි කියනවා. දහම් මගට පැමිණ සීලානුස්සතිය දියුණු කරන්නේ යැයි කියනවා.

මේ ආකාරට සීලයට අනුග‍්‍රහ නැති, විසමගත අසත්පුරුෂ සමාජයක සමව වාසය කරන්නට හැකි ධර්මයක්, දුකින් පීඩා විඳින සමාජයේ නිදුකින් වාසය කරන්නට හැකි ධර්මයක් තමයි අපි ඉගෙන ගත්තේ.

එ් උතුම් සිල් පදවල සංවර වෙමින් සියල්ලෝ නිදුකින් වෙසෙත්වා!

මහාමේඝ 2015 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK

මහමෙව්නාව භාවනා අසපුවාසී
ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.


බැහැර කරලමු උපක්ලේෂයෝ

$
0
0

මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනව. ‘‘ප‍්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, උපක්ලේෂ උපක්ලේෂ කියල කියනව. ඇත්තෙන් ම ප‍්‍රිය ආයුෂ්මතුනි මේ උපක්ලේෂ කියන නම යොදන්නේ මොන වගේ දේකට ද?” කියල.

සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනව, ‘‘ප‍්‍රිය ආයුෂ්මතුනි, ඔය උපක්ලේෂ කියන නම යොදන්නේ ළාමක ආශාවන්ට අනුව සිත පවත්වන්න යෑමෙන් හටගන්නා පාපී අකුසල්වලට යි.” කියල. එතකොට උපක්ලේෂ කියන්නෙ මොනවට ද? ළාමක ආශාවන්ට අනුව සිත පවත්වන්න යෑමෙන් හටගන්නා පාපී අකුසල්වලට යි.

කෙනෙක් ඉන්නව, එයා අතින් යම් වරදක් සිද්ධ වෙනව. එයා කල්පනා කරනව ‘‘මගේ අතින් වැරැුද්දක් සිද්ධ වුණා තමයි. හැබැයි අනිත් අය කව්රුත් මේක දැනගත්තෙ නැත්තං හොඳයි” කියල. ළාමක ආශාව කියන්නෙ අන්න එ් වගේ අකුසලයන්ට යිි.

නමුත් එහෙම හිටියට, අනිත් අය එයා අතින් සිද්ධ වෙච්ච වැරැද්ද ගැන දැනගන්නව. ඊට පස්සෙ එයාට කේන්ති යනවා. ‘‘මේ අය මගේ වරද දැනගත්ත නේ ද?” කියල කේන්ති ගන්නව. අමනාප වෙනව. අන්න එ් කේන්තියත්, අමනාපයත් තමයි උපක්ලේෂය වෙන්නෙ.

දැන් මේ වගේ දේවල් අපට සිද්ධ වෙන්න පුළුවන් ද? බැරි ද? සිද්ධ වෙන්න පුළුවන්. අන්න එතකොට, ‘මේවයි උපක්ලේෂ’ කියල දන්නෙ නැත්නම් මොකද වෙන්නෙ? මේව දුරු කර ගන්න බැරුව යනව. මේව උපක්ලේෂ කියල දැනගන්න නම් අපට වඩා වැදගත් වෙන්නෙ මොකක් ද? අපට දහම් දැනුම ඕන. එ් වගේ ම සිහි නුවණින් වාසය කරන්න ඕන. එතකොට මේ වගේ උපක්ලේෂ හට ගන්න කොට අපට තේරෙනව ‘මගේ ළඟ උපක්ලේෂ තියෙනවා’ කියල.

එතකොට එයා එ් උපක්ලේෂයට කැමති වෙන්නෙ නෑ. ඇයි එ් උපක්ලේෂයට එයා කැමති වෙන්නෙ නැත්තෙ? එතකොට පිරිසක් අතරෙ එයාට තිබෙන ප‍්‍රියශීලී බව නැති වෙලා යනව. අමනාපයක්, අහිතවත් බවක් ඇතිවෙන නිසා එයා උපක්ලේෂය පවත්වන්න කැමති වෙන්නෙ නෑ. අන්න එයා කැමතියි උපක්ලේෂ දුරු කර ගන්න.

මේක උපක්ලේෂයක් කියල දන්න කෙනා තමන් තුළ උපක්ලේෂ තියෙනවා කියල දැනගන්න කොට, එයාට එ් උපක්ලේෂය දුරු කර ගන්න ආසාවක් ඉපදෙනව. එ් විදිහට උපක්ලේෂ දුරු කර ගන්න කැමති වෙන කෙනා එ් සඳහා වෑයම් කරනව. වෑයම් කරන කොට වීරිය ඉපදෙනව. අන්න එතකොට උපක්ලේෂය දුරු කර ගන්න පුළුවන්කම ලැබෙනව.

උපක්ලේෂ සිතේ තබාගෙන ජීවිතය ගතකරනතාක් අපට රාග ද්වේෂ මෝහවලින් බැට කකා සසර ගමනේ යන්නට සිදු වෙනවා. උපක්ලේෂ හඳුනාගෙන බැහැර කරන කෙනාට අත්වන ඉරණම මොකක්ද? ඔහු අරමුණු තුළ (රාගය ඇති වන ආකාරයට) සුභ වශයෙන් සිහි කරන්නේ නෑ. සුභ වශයෙන් අරමුණු සිහි කරන්නෙ නැති නිසා, රාගයට ඔහුගේ සිත ගිලගන්න බැරුව යනවා. අන්න එ් තැනැත්තා මරණයට පත් වෙන්නෙ, රාගය නැතුවයි. ද්වේෂය නැතුවයි. මෝහය නැතුවයි. උපක්ලේශ නැතුවයි. කිලිටි සිතක් නැතුවයි.

මේ උපක්ලේෂ මොනවා ද? සිත කිලූටු වෙන එ් උපක්ලේෂ පිළිබඳ වත්ථූපම සූත‍්‍රයේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙනවා.

‘‘පින්වත් මහණෙනි, මොනවයින් ද සිතක් කිලූටු වෙන්නෙ? තමන් සතු දේ තමා ළඟ ම තබා ගන්නටත්, අනුන් සතු දේ තමන් සතු කර ගන්නටත් ලෝභකම ඇතිවෙනවා. අන්න එ්ක සිතට කිලූටක්. ද්වේෂය ඇතිවෙනවා. අන්න එ්කත් සිතට කිලූටක්. ක්‍රෝධය ඇතිවෙනවා. අන්න එ්කත් සිතට කිලූටක්. වෛර බැඳගැනීම ඇතිවෙනවා. අන්න එ්කත් සිතට කිලූටක්. අනුන්ගේ ගුණවත්කම මතුවෙද්දී එය යටපත් කොට මකලා දානවා. අන්න එ්කත් සිතට කිලූටක්. එකට එක කරනවා. අන්න එ්කත් සිතට කිලූටක්. ඉරිසියාව ඇති වෙනවා. අන්න එ්කත් සිතට කිලූටක්. තමන්ගෙ දෙයක් තව කෙනෙක් පාවිච්චි කරනවට අකැමති මසුරුකම ඇතිවෙනවා. අන්න එ්කත් සිතට කිලූටක්. ගුණවතුන් හැටියට පෙනී ඉන්නවා. අන්න එ්කත් සිතට කිලූටක්. කපටිකම ඇතිවෙනවා. අන්න එ්කත් සිතට කිලූටක්. සාධාරණ අදහස්වලට විරුද්ධව, දැඩිව ඉන්නවා. අන්න එ්කත් සිතට කිලූටක්. තරගයට වැඩකරනවා. අන්න එ්කත් සිතට කිලූටක්. අහංකාරකමින් ඉන්නවා. අන්න එ්කත් සිතට කිලූටක්. අධික අහංකාරකමින් ඉන්නවා. අන්න එ්කත් සිතට කිලූටක්. හිතට අරගෙන ඉදිමිලා ඉන්නවා. අන්න එ්කත් සිතට කිලූටක්. බාහිර කටයුතු පෙරට ගෙන ධර්මයේ හැසිරීම ප‍්‍රමාද කරනවා. අන්න එ්කත් සිතට කිලූටක්.”

මේ කිලූටු ස්වභාවය නිසා ම අපට බුදුරජාණන් වහන්සේ කෙරෙහි නො සෙල්වෙන පැහැදීමට එන්න බැහැ. අන්න එ් අනතුර අපි හඳුනාගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනාගන්න කැමති වෙන කෙනා මේ උපක්ලේෂ එ් එ් තැන හඳුනාගෙන බැහැර කළ යුතුයි නේ ද? සිත කිලූටු කරවන එ් අකුසල් හොඳින් ඉගෙනගෙන බැහැර කරමින් ඉන්න කෙනාට එ්වා ප‍්‍රහාණය වෙලා ගියා කියන වැටහීම ඇති වෙනවා. අන්න එ් කෙනාට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නො සෙල්වෙන පැහැදීමට පත්වන්නට හැකි බව වත්ථූපම සූත‍්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා.

එ් වගේ ම එ් ශ‍්‍රාවකයා ‘සද්ධර්මය’ කියන්නේ මොකක් ද කියලත් අවබෝධයෙන් ම හඳුනාගෙන සද්ධර්මය ගැනත් නො සෙල්වෙන පැහැදීමකින් යුක්ත වෙනවා. එ් වගේ ම එ් ශ‍්‍රාවක සංඝරත්නය කියන්නෙ කවුද කියලත් අවබෝධයෙන් ම හඳුනා ගෙන ‘ශ‍්‍රාවක සංඝරත්නය’ ගැනත් නො සෙල්වෙන පැහැදීමකින් යුක්ත වෙනවා.

අන්න එ් කෙනාට ලැබෙන ලාභය තමයි, ‘‘අනේ ! මාත් බුදු සමිඳාණන් කෙරෙහි නො සෙල්වෙන ප‍්‍රසාදයකින් යුක්ත කෙනෙක් නේ ද?” කියල මහත් සතුටට පත් වෙන්න පුළුවන්. ”අනේ ! මාත් ශ‍්‍රී සද්ධර්මය කෙරෙහි නො සෙල්වෙන ප‍්‍රසාදයකින් යුක්තයි නෙව ද?” කියල මහත් සතුටට පත් වෙන්න පුළුවන්. ‘‘අනේ! මාත් ශ‍්‍රාවක සඟරුවන කෙරෙහි නො සෙල්වෙන ප‍්‍රසාදයකින් යුක්තයි නෙව ද?” කියල මහත් සතුටට පත් වෙන්න පුළුවන්. ‘‘අනේ! මගේ හිතෙත් කිලූටු තිබුණා. එ්ත් දැන් එ් කිලූටු ඔක්කොම සිතෙන් බැහැර වුණා. වමනෙ ගියා වගේ වුණා. නැති වෙලා ගියා, දුරු වෙලා ගියා නෙව ද…” කියල මහත් සතුටට පත් වෙන්න පුළුවන්. එ් ශ‍්‍රද්ධා ලාභය ලැබූ කෙනාට මුළු බුද්ධ ශාසනයේ ම උපකාරය, පිහිට පිළිසරණ ලබන්නට යම් කලෙක හැකි වෙනවා. එ් නිසා අචලප‍්‍රසාදයකින් යුතුව ශ‍්‍රද්ධාවට පැමිණිමට මේ උපක්ලේෂ ම යි බැහැර කළ යුත්තේ. අපි සියලූ දෙනා ම ‘‘මම නම් මේ උපක්ලේෂ බැහැර කරගෙන තිසරණය කෙරේ අචලප‍්‍රසාදයට ම පත් වෙනවා” කියල මේ ධර්මයේ ම හික්මීම යි යහපත් වන්නේ.

මහාමේඝ 2015 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK

මහමෙව්නාව භාවනා අසපුවාසී
ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.

ධර්මය තුළ ඔබ දියුණු වන බව දැනගන්නේ කෙසේද ?

$
0
0

සැදැහැවත් පින්වතුනේ..

බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය තමයි මේ ලෝකයේ තිබෙන අසිරිමත් ම දේ. ඒ ධර්මය සිතා ගන්නට බැරි තරම් අසිරිමත්. එහෙම වෙන්නෙ කරුණු කාරණා රාශියක් නිස යි. ඒ අසිරිමත් කරුණු අතර තිබෙන සුවිශේෂී ම දෙයක් තමයි, සම්බුදු සමිඳුන් ගේ ධර්මය කථිතමාත‍්‍රයකින් කෙළවර නොවීම. ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය, කවදාවත් කතාබහකින් ඉවර වෙන දෙයක් ‍නෙවෙයි. ධර්මය කියන්නේ හැම විට ම ප‍්‍රායෝගික ව ක‍්‍රියාත්මක කළ යුතු දෙයක්.

යම් කිසි කෙනෙක් තුළ ධර්මය ප‍්‍රායෝගික ව ක‍්‍රියාත්මක වෙන්නේ නැත්නම්, ඒ කෙනා බුදු සමිඳුන් ගේ ධර්මය තුළ මිය ගිය කෙනෙක්. ඒ කියන්නේ එයා තුළ සද්ධර්මය ජීවමාන වෙන්නේ නැහැ.

ඒ නිසා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, වගේ මේ හැම දෙයක් ම එක ම එක නිෂ්ඨාවක් (නිශ්චිත අවසන් අරමුණක්) පිණිස ම යි පවතින්නේ. ඒ නිෂ්ඨාව තමයි, පරිපූර්ණ වශයෙන් කෙළෙස් සංසිඳවීම. ඉතින් යම් හේතුවක් නිසා, ධර්ම සාකච්ඡාවකින් හරි ධර්ම ශ‍්‍රවණයකින් ‍හරි කෙළෙස් සංසිඳවීම සිදු වෙන්නේ නැත්නම්, එතැන බුදු දහම ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. එතැන තිබෙන්නේ ධර්මයේ වේශයෙන් ක‍්‍රියාත්මක වෙන වෙනත් දෙයකු යි.

ඒ නිසා ධර්මය ගැන උනන්දු වෙන, ධර්මයේ හැසි‍රීමට උත්සාහ කරන ඔබ තුළ, ඇත්තට ම බුදු සමිඳුන් ගේ අවවාදය ක‍්‍රියාත්මක වෙනව ද කියල දැනගන්ට උපකාර වෙන කරුණු කිහිපයක් ලියන්ට ඕනි කියල හිතුන.. හැබැයි මේ දේවල් කියන්නේ, අනිත් අයව මනින්ට නෙමෙයි. එහෙමත් නැත්නම්, තමන්ව ම මැණගෙන, හීනමානය හරි අධිමානය හරි ඇති කරගන්නට ත් නෙවෙයි. මේ කරුණු දැනගෙන, දහම තුළ අප‍්‍රමාදී වීමට යි.

ධර්මයේ පිහිටපු කෙනා කැළඹුනත් මතුවෙන්නේ ධර්මය විතර යි…

1. ඇත්තෙන් ම ධර්මයේ හැසිරෙන කෙනෙක් තුළ මූලික ව ම ‍සිදු වන දෙයක් තමයි, ඒ කෙනා තුළ ගුණධර්ම දියුණු වීම. කරුණාව, මෛත‍්‍රිය, අනිත් අය ගේ අදහස් ඉවසීම, අනිත් අයට උපකාර කිරීම ආදී ගුණ ධර්ම ඒ කෙනා තුළ ක‍්‍රමයෙන් දියුණු වෙනවා. මේ දේ ධර්මතාවයක් හැටියට ම සිදු වෙන දෙයක්.

2. ඒ වගේ ම විශේෂයෙන් ම ඒ කෙනා තුළ ඇති වන ගුණ ධර්මයක් තමයි කෙළෙහි ගුණ දන්නාකම. එය විශේෂ ගුණ ධර්මයක් හැටියට සදහන් කළේ ඇයි…? මේ ගැන කවුරු මොනවා කිව්වත්, කෙළෙහි ගුණ දන්නාකම කියන්නේ, කේවල (මුලූමනින් ම) සත්පුරුෂ භූමිය යි. ඒ කියන්නේ, සත්පුරුෂ භූමියත් කළගුණ දන්නා බවත් වෙන් කළ නො හැකි ලෙස බද්ධ වෙලයි තිබෙන්නේ… කෙළෙහි ගුණ දන්නා බව යම් තැනක නැත්නම් එතැන සත්පුරුෂභාවයක් ඇත්තේ ම නැහැ.

මොකද බුදු රජාණන් වහන්සේ වදාළා, කෙලෙහි ගුණ නො දන්නා බව, මුලූමනින් ම අසත්පුරුෂ භූමිය බව. යම් කෙනෙක් තුළ, කළ ගුණ දන්නාබව නැත්නම්, ඔහු ඒකාන්තයෙන් ම අසත්පුරුෂයෙක්. විශේෂයෙන් ම යම් කිසි කෙනෙක්, සද්ධානුසාරී භාවයට හෝ පත් වෙනවා නම්, ඔහු තුළ ධර්මතාවයක් හැටියට ම, ස්ථීර ව‍ශයෙන් ම මේ උතුම් ගුණ ධර්මය පිහිටනවා. මෙය බලෙන් රිංගවිය යුතු දෙයක් හෝ, බලෙන් ඇති කළ හැකි දෙයක් හෝ නො වෙයි. ඕනම කෙනෙක් සත්පුරුෂ භූමියට පා තබනවා ත් එක්ක ම ධර්මතාවයක් හැටියට ම ඔහු තුළ කළ ගුණ දන්නා බව පිහිටනවා.

3. ධර්මය තුළ දියුණු වෙන, ධර්මය හිතට ගිය කෙනා ගේ තවත් ලක්ෂණයක් තමයි, ඒ කෙනා ලෝකය ත් සමග කැළඹී යන්නේ නැහැ. ඒ කියන්නේ, අපි හිතමු එයාට නින්දා අපහාස හෝ රෝගාබාදිය හෝ වෙන කිසියම් හෝ ව්‍යසනයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒත් ඒ දෙවල් වලින් ඒ කෙනා ගේ සිත කැළඹෙන්නේ නැහැ.

සිත යම් මට්ටමකට හෝ කැළඹුණත් එයා ට සිහි වන්නේ ධර්මය ම යි. එයා ගේ වචනයෙන් පවා බැහැරට නික්මෙන්නේ ධර්මය ම යි. ධර්මය සිතට නො ගිය කෙනා, ලෝකයත් සමග කැළඹෙනවා වගේ ම, ඒ කැළඹීම තුළින් එයා ගේ අභ්‍යන්තරයේ තිබෙන ‍අකුසල් එළියට පනිනවා. නින්දා අපහාස ලැබුණත් ධර්මයේ පිහිටපු කෙනා ගේ සිත එක්කෝ උපේක්ෂාවට පත් වෙනවා, එහෙමත් නැත්නම්, කැරකි කැරකී ධර්මය තුළ ම පිහිටනවා. මේ දේ ධර්මතාවයක් හැටියට ම සිදු වෙනවා.

4. ඒ වගේ ම බුදු පියාණන් වහන්සේ ත්, ධර්ම රත්නය ත්, සංඝරත්නය ත් මුල් කරගෙන කෙතරම් නින්දා අපහාස, වාද විවාද, ඇතිවුවත්, ධර්මයේ පිහිටපු කෙනා ගේ සිත, නැවත නැවතත් බුදු ගුණ දම් ගුණ සග ගුණ තුළ ම පිහිටනවා. සංසි‍‍‍‍‍ඳෙනවා. ඇවිස්සී යන්නේ නැහැ.

5. ධර්මයේ හොඳින් හැසිරෙන, ධම්මානුධම්ම පටිපන්න කෙනා ගේ තවත් ලක්ෂණයක් තමයි, එයා කථා කළොත් කථා කරන්නේ ධර්මය ම විතර යි, සිතුවොත් සිතන්නේ ධර්මය ම විතරයි. ඒ දෙක ම නැතිනම් එයා සතිමත් ව උපේක්ෂාවෙන් ඉන්නවා. ධම්මානුධම්ම පටිපන්න යි කියල නිවැරදිව ම කියන්න පුලූවන් වෙන්නේ අන්න ඒ වගේ කෙනෙකුට තමයි.

මේ මූලික ම කරුණු ටිකක් විතර යි..

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනේ, ඒ වගේ ම බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා, යම් යම් භාවනාවන් වඩන විට, ඒ භාවනාවන් තමන් තුළ වැඩෙනවා ද කියා දැනගන්නට යම් යම් ක‍්‍රම. ඒ ක‍්‍රම කිහිපයකුත් මේ විදියට දක්වන්ට පුලූවන්. සමහර විට ඔබට ප‍්‍රයෝජනවත් වේවි.

භාවනාවේ දියුණුව මනින්නේ ගූඪ අත්දැකීම් වලින් නො වෙයි…

1. ඔබ අසුභ සඤ්ඤාව එහෙමත් නැත්නම් අසුභ භාවනාව වඩනවා කියා සිතමු. ‍මේ භාවනාව ඔබ තුළ හොඳින් වැඩෙනවා නම් සිදු වෙන දේ තමයි, ඔබේ සිත මෙවුන්දම් සේවනයෙන්, ඉවතට නැමීම, ඉවතට හැකිලීම. මේ භාවනාව වැඞීම නිසා, මෙවුන්දම් සේවනය ගැන එක්කෝ උපේක්ෂාව ඇතිවෙනවා, නැතිනම් පිළිකුල උපදිනවා.

බුදු රජාණන් වහන්සේ වදාළා, කුකුලූ පිහාටුවක් හෝ නහර කැබැල්ලක් හෝ ගින්නකට ඇල්ලූ විට, ඒවා පිළිස්සෙමින්, ආපසු හැකිලෙන්නේ යම් විදියකට ද, ඉවතට නැමෙන්නේ යම් විදියකට ද අන්න ඒ වගේ ම, අසුභ භාවනාව වඩන කෙනා ගේ සිත ලාමක ධර්මයක් වූ මෙවුන්දම් සේවනයෙන් ඉවතට නැමෙනවාය කියා.

ඉතින් භාවනාව වඩන කාලය දීර්ඝ වුනත් කෙටි වුනත්, ඔබ තුළ මෙවුන්දම් සේවනයට ඇති කැමැත්ත අඩු වෙන්නෙ නැතිනම්, ඔබ තුළ මේ භාවනාව, හොඳින් දියුණු වන්නේ නැහැ. වඩන කාලය කෙටි වුනත් දිග උනත්, මෙවුන්දම් සේවනයට ඇති කැමැත්ත අඩු වෙනවා නම්, ඔබ තුළ මේ භාවනාව හොඳින් වැඩෙනවා.

2. ඔබ මරණ සඤ්ඤාව එහෙමත් නැත්නම් මරණානුස්සති භාවනාව හොඳින් වඩනවා නම්, එවිට සිදු වන දෙය තමයි ජීවිතය ගැන ඇති ඇල්ම දුරුවෙන්ට පටන් ගැනීම. ජීවිතට ඇති ඇල්මෙන් සිත ඉවතට නැමෙනවා. හැකිලෙනවා. ජීවිත තණ්හාව ගැන උපේක්ෂාව හරි පිළිකුළ හරි උපදිනවා. මේ කියන්නේ මැරෙන්න හිතෙනවා කියන එක එහෙම නෙමෙයි. මේ භාවනාව වඩන විට ජීවිතය ගැන ඇති දැඩි තෘෂ්ණාව දුරු වෙන්ට පටන් ගන්නවා.

3. ඔබ අහාරයේ පටික්කූල සඤ්ඤාව හොඳින් වඩනවා නම්, එවිට රස තෘෂ්ණාව- ආහාරවල තිබෙන රසයට ඇති ගිජුකම දුරුවෙන්ට පටන් ගන්නවා. සිත කෑමවල රසයට ඇති ආශාවෙන් ඉවතට නැමෙනවා. ඉවතට හැකිලෙනවා. රසතණ්හාව ගැන උපේක්ෂාව හරි පිළිකුළ හරි ඇති වෙනවා. මේ කියන්නේ කෑම ගන්න බැරිව යෑමක් ගැන එහෙම නෙවෙයි. හුදෙක් ම රස තෘෂ්ණාව දුරු වෙන්නට පටන් ගන්නා බව යි.

4. ඔබ සියලූ ලෝකයට නො ඇලී සිටීමේ සඤ්ඤාව හොඳින් පුරුදු කරනවා නම්, එවිට ඒ ඒ ලෝකවල (දිව්‍යලෝක ඇතුළු) ඉපදීමට තිබෙන කැමැත්ත දුරුවෙන්ට පටන් ගන්නවා. ඒ ඒ ලෝකවල ඉපදීමට ඇති කැමැත්තෙන්, සිත හැකිලෙනවා. ඉවතට නැමෙනවා. ඒ ගැන උපේක්ෂාව හරි පිළිකුළ හරි ඇතිවෙනවා.

5. ඔබ අනිත්‍ය සඤ්ඤාව එහෙමත් නැත්නම් අනිත්‍ය භාවනාව හොඳින් වඩනවා නම්, එවිට ලාභ සත්කාර, කීර්ති ප‍්‍රශංසාවලට තිබෙන කැමැත්ත දුරු වෙන්ට පටන් ගන්නවා. ලාභ සත්කාර කීර්ති ප‍්‍රශංසා ආදියෙන් හිත ඉවතට නැමෙනවා. ඒවා ගැන උ‍පේක්ෂාව හරි පිළිකුළ හරි ඇති වෙනවා..

බොහෝ දෙනෙක් වඩන භාවනාවක් නිසා, මේ ගැන කරුණු දැන සිටීම වැදගත්. අනිත්‍ය භාවනාව තමන් තුළ වැඩෙනවා ද කියා දැනගන්ට තිබෙන්නේ, ඒ තුළින් ලැබෙන යම් යම් අත්දැකීම්වලින් නෙමෙයි. මුලින් කිව්ව ක‍්‍ර‍මයෙන්. අනිත්‍ය භාවනාව වඩන ඔබ තුළ ලාභ සත්කාර ගැන, කීර්ති ප‍්‍රශංසා ගැන උපේක්ෂාවක් හරි පිළිකුළක් හරි ඇති වෙනවා නම්, සිත ඒවායින් ඉවතට හැරෙනවා නම්, එතනින් තමයි තේරුම් ගන්ට පුලූවන් වෙන්නේ, අනිත්‍ය භාවනාව වැ‍‍‍‍‍ඩෙනවා ය කියා.

අනිත්‍ය භාවනාව වඩද්දීත්, නම ප‍්‍රසිද්ධකර ගන්නට, බොහෝ දෙනෙක් අතර දැනගත් චරිතයක් වෙන්නට, තමාදහම් දැනුම ඇති අයෙක්, භාවනා කරන අයෙක් කියා ප‍්‍රසිද්ධ වන්නට, අන් අය ‍ගේ ලාභ සත්කාර තමා වෙත ලබාගන්නට, ආදී වශයෙන් තමා තුළ තිබෙන කැමැත්ත එහෙමම තියෙනවා නම්, එහෙමත් නැත්නම් ටික ටික වැඩි වෙනවා නම්, කුමන අද්දැකීමක් ලැබුණත් තේරුම් ගන්නට තිබෙන්නේ, ඔබ තුළ අනිත්‍ය භාවනාව නො වැඩෙන බව යි.

6. ඔබ අනිච්චේ දුක්ඛ සඤ්ඤාව එහෙමත් නැත්නම්, අනිත්‍ය දේ දුකයි කියා වඩන භාවනාව හොඳින් වඩනවා නම්, මේ භාවනාව ඔබ තුළ හොදින් වැඩෙනවා නම්, බණ භාවනා කරන්නේ නැතිව අලසව ඉඳීම ගැනත්, කුසීතව ඉඳීම ගැනත්, කම්මැලි ව ඉඳීම ගැනත්, විවිධ දේවල් කරමින් ප‍්‍රමාදීව ඉඳීම ගැනත්, ඔබ තුළ ඉතා ම තද බල බියක් ඇති වෙනවා. තීවෘර බියක් ඇති වෙනවා.

බුදු රජාණන් වහන්සේ උපමාවකින් පෙන්වා දී තිබෙන්නේ, හරියට කඩුවක් අතින් ගත් වදකයෙක්, බෙල්ලට කොටන්න ඉන්න විට ඇතිවෙන බිය වගේ ඉතා තදබල බියක්, මුලින් කියූ දේවල් ගැන ඇති වෙනව කියල යි. ඉතින් කම්මැලි කමට සිටීම ගැන එහෙම බියක් ඇති වෙන්නේ නැත්නම්, ඒ භාවනාව එයා තුළ වැඩිලා නැහැ.

ඇත්තෙන් ම අද කාලේ ජීවත් වෙන සසර දුකින් නිදහස් වෙන්නට කැමැත්ත ඇති අය අතරින් බොහෝ පිරිසකට පවා අනිත්‍ය දේ දුකයි කියන සඤ්ඤාව ස්වල්පයක් වත් වැඩිල නෑ කියල යි තේරුම් ගන්ට තිබෙන්නේ. ඇතැම් අය ඒ තරමට ම ප‍්‍රමාද වෙවී, හිස් දේවල් ඔස්සේ කාලය කමින් ජීවිත ගතකරනවා.

7. ඔබ දුක් දේ අනාත්ම යි කියා වඩන භාවනාව, (දුක්ඛේ අනත්තසඤ්ඤා) වඩනවා නම්, මේ භාවනාව වැඞීමෙන් සිදු වෙන්නේ, තමන් ගේ ශරීරය ගැනත්, බාහිර තිබෙන සියලූ නිමිති ගැනත් ඇති මම කියන හැඟීම, මගේ කියන හැඟීම ආදී සියලූ මානයන් දුරින් ම දුරු වී යෑම යි.

ප‍්‍රමාදී අයට පසුතැවෙන්ට වෙන දිනය වැඩි ඈතක ‍නොවේ…

ඉතින් සැදැහැවත් පින්වතුනේ..

ධර්මය තුළ අපි දියුණු වෙනවා ද කියන බලන්ට තිබෙන්නේ, ධර්මයේ හැසිරීම සහ බණ භාවනා කිරීම තුළින් ලැබෙන යම් යම් ගූඪ අත්දැකීම් තුළින් නෙමෙයි. මෙන්න මේ ගුණ ධර්ම තමන් තුළ දියුණු වෙනවා ද නැද්ද කියන එක තුළිනු යි. ඒ නිසා අපි අපි ගැන ම හැඟීමක්, සංවේගයක් ඇති කරගනිමු. මේ කියන කිසි දෙයක් තමන් තුළ දියුණු වෙලා නැති නම්, දියුණු වෙනපාටකුත් පේන්න නැතිනම්, අපි ඉක්මණින් ම කළ යුත්තේ, හිස් දේවල් කරමින්, ඔහේ ජීවිත ගත කරන එක වහාම නවත්ල දමල, හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගිනි නිවා ගන්ට උත්සාහ කරනවා වගේ, ධර්මය දියුණු කර ගැනීම පිණිස මහන්සි වීම යි. ඒ පිණිස ම සියලූ දෙනාට ම භාග්‍ය උදාවේවා…

දිව්‍යාංජලී සූරියබණ්ඩාර

ප‍්‍රතිපත්ති පූජාව මූලික වන්නේ ඇයි?

$
0
0

‘‘නයිදං හාසිතමත්තේන එ්කන්ත සවණේන වා,
අනුක්කමිතවෙ සක්කා යායං පටිපදා දළ්හා,
යාය ධීරා පමුච්චන්ති කද්ධායිනෝ මාරබන්ධනා”
‘‘යම් ප‍්‍රතිපදාවකින් ප‍්‍රඥාවන්ත උදවිය ධ්‍යාන වඩමින්, මාර බන්ධනයෙන් නිදහස් වෙනවා ද ක‍්‍රමානුකූලව දැඩි වූ ප‍්‍රතිපදාවකිනුයි එය කළ යුත්තේ. එහෙම නැතුව මේ ප‍්‍රතිපදාව හුදෙක් කථා බස් කළ පමණින් හෝ ශ‍්‍රවණය කළ පමණින් හෝ පිළිපදින්න බෑ.”
(උජ්ඣාන සඤ්ඤී සූත‍්‍රය – සං. නි. 01)

බුද්ධ ශාසනයක් තුළ අපට පූජා දෙකක් මුණගැහෙනවා. එ් ආමිස පූජාවත්, ප‍්‍රතිපත්ති පූජාවත්. මේ දෙක ම වටිනවා. හැබැයි, මේ දෙක සන්සන්දනය කර බැලීමේ දී වඩා අග‍්‍ර වන්නේ ප‍්‍රතිපත්ති පූජාවයි. මොකද, යම් අර්ථයක් පිණිස තථාගතයන් වහන්සේ මේ ලෝකයට පහළ වුණා ද, යම් අර්ථයක් පිණිස තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරනවා ද, එ් අර්ථය සුළු වශයෙන් හෝ ශ‍්‍රාවකයෙකුට අත්දකින්න පුළුවන් වෙන්නේ ප‍්‍රතිපත්තිය තුළිනුයි.

ඉහත ගාථා රත්නය ගැන සලකා බැලූවොත්, ධර්ම කථාවට හා ධර්ම ශ‍්‍රවණයට වඩා ප‍්‍රතිපත්තියට මුල් තැනක් දීලා තියෙනවා. එ්කෙන් කියවෙන්නේ නෑ ධර්ම කථාව හා ධර්ම ශ‍්‍රවණය එපා කියලා. බුදුරජාණන් වහන්සේ ධර්ම-විනය මුල්කරගෙනයි ප‍්‍රතිපත්තියෙහි යෙදෙන්න කියන්නේ. එ් සඳහා ගාම්භීර වූ, ගැඹුරු අර්ථ ඇති, ලෝකයෙන් එතෙර කරවන, අනාත්මය හා බැඳුනු, නිවන මුල්කර ගත් එ් ශාස්තෘ ශාසනය මතුවිය යුතු ම යි. නැත්නම් ප‍්‍රතිපත්ති පූජාව පමණක් නො වේ, ආමිස පූජාවත් අවුල් ජාලාවක් බවට පත්වෙනවා. ඉතින් ධර්ම කථාවෙන්, ධර්ම ශ‍්‍රවණයෙන් පමණක් සෑහීමකට පත් නො වී, සසර සැඩ පහරින් එතෙර වෙන්න කැමති කෙනෙක් එ් ධර්මය ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නගන්න කියලයි භාග්‍යවතුන් වහන්සේ ඉහත ගාථාවෙන් මතු කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රතිපත්තියෙහි තියෙන වටිනාකම තවදුරටත් පෙන්වා දෙනවා.

‘‘පින්වත් මහණෙනි, භික්ෂුව නවාංග ශාස්තෘ ශාසනය ඉගෙන ගනියි. ඔහු හුදකලාව විවේකය අත් නො හරියි. අධ්‍යාත්මයෙහි සිත සන්සිඳවීමෙහි යෙදෙයි. මෙසේ භික්ෂුව, ධර්මය තුළ වාසය කරන්නේ වෙයි. (අනුයුඤජති අජඣතං චේතොසමථං).”
(පඨම ධම්ම විහාරි සූත‍්‍රය – අං. නි. 03)

‘‘පින්වත් මහණෙනි, භික්ෂුව නවාංග ශාස්තෘ ශාසනය ඉගෙන ගනියි. ධර්මයේ ශ්‍රේෂ්ඨ වූ අර්ථය ප‍්‍රඥාවෙන් දනියි. (උත්තරිඤචස්ස පඤ්ඤාය අත්ථං පජානාති*. මෙසේ භික්ෂුව, ධර්මය තුළ වාසය කරන්නේ වෙයි.”
(දුතිය ධම්ම විහාරි සූත‍්‍රය – අං. නි. 03)

‘‘පින්වත් මහණෙනි, මා විසින් නවාංග ශාස්තෘ ශාසනය වශයෙන් බොහෝ ධර්ම කොටස් දේශනා කරන ලද්දේ වෙයි. එයින් සතර පද ගාථාවක හෝ අර්ථය දැනගෙන, ධර්මය දැනගෙන, ධර්මයට අනුකූලව පිළිපන්නේ වෙයි ද (අත්ථමක්ඤාය ධම්මමක්ඤාය ධම්මානුධම්මපටිපන්නෝ හෝති*, ඔහුට ‘බහුශ‍්‍රැත ය, ධර්මධර ය’ කියන්නට සුදුසු වෙයි.”
(බහුස්සුත සූත‍්‍රය – අං. නි. 02)

කෙනෙකුට සිතෙන්න පුළුවන් පැවිදි ශ‍්‍රාවකයන්ට පමණයි මේ ප‍්‍රතිපත්තිය අදාළ වෙන්නේ කියලා. නෑ. මේ ශාසනයේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියලා පිරිස් හතරක් ඉන්නවා. සංසාරය පැනවෙන්නේ පැවිදි ශ‍්‍රාවකයන්ට පමණක් නො වේ. ගිහි ශ‍්‍රාවකයන්ටත් හටගන්නවා.

‘‘පින්වත් ආනන්ද, අකාලයේ මේ ගස්වල මල් පිපිලා එ්වා තථාගතයන් වහන්සේට පූජා පිණිස, තථාගතයන් වහන්සේගේ ශරීරයට වැටෙනවා, විසිරෙනවා, දිව්‍ය මදාරා මල් ද දිව්‍ය සඳුන් කුඩු ද තථාගතයන් වහන්සේට පූජා පිණිස අහසෙන් වැටෙනවා, විසිරෙනවා, දිව්‍ය වූ තූර්යවාදනයන් ද වැයෙනවා, දිව්‍ය වූ ගායනයන් ද ගැයෙනවා. ආනන්ද මෙපමණකින් තථාගතයන් වහන්සේට සත්කාර කළා වෙන්නේ නෑ. ගරු කළා, බුහුමන් කළා, පූජා පැවැත්වූවා වෙන්නේ නෑ. ආනන්ද, යම් භික්ෂුවක් භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ ධර්මයට අනුකූලව පිළිපන්නේ වෙයි ද මනාව පිළිපන්නේ වෙයි ද ධර්මයට අනුකූලව හැසිරෙන්නේ වෙයි ද (ධම්මානුධම්මපටිපන්නෝ සාමීචිපටිපන්නෝ අනුධම්මචාරී* ඔහු උතුම් පූජාවෙන් තථාගතයන් වහන්සේට සත්කාර කළා වෙනවා. ගරු කළා, බුහුමන් කළා, පූජා පැවැත්වූවා වෙනවා.”
(මහා පරිනිබ්බාන සූත‍්‍රය – දී. නි. 02)

එ් වගේ ම, එක්තරා අවස්ථාවක දී අනාථ පිණ්ඩික සිටුතුමා ඇතුළු 500ක් පමණ උපාසක පිරිසට තථාගතයන් වහන්සේ මෙන්න මේ විදියේ අවවාදයක් කරනවා.

‘‘ගෘහපතිය, ඔබ මෙපමණකින් සෑහීමකට පත් නොවිය යුතුයි. ‘අපි භික්ෂු සංඝයාට සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ආදියෙන් උපකාර කරනවා’ කියලා. ‘කෙසේ නම් අපි කාලයෙන් කාලයට හුදෙකලා විවේකයෙන් යුතු ප‍්‍රීතියක් (පවිවේකං පීතිං* උපදවාගෙන වාසය කරන්නෙමු ද’ කියා. මෙසේ ඔබ හික්මිය යුතුයි. යම් කලෙක ආර්ය ශ‍්‍රාවකයා හුදෙකලා විවේකයෙන් යුතු ප‍්‍රීතියක් (සමාධියක්* උපදවාගෙන වාසය කරනවා ද, එකල, කාමයෙන් හටගත් කායික-මානසික දුකක් ඇද්ද, කාමයෙන් හටගත් කායික-මානසික සැපක් ඇද්ද, අකුසල් සහගත කායික-මානසික දුකක් ඇද්ද, අකුසල් සහගත කායික-මානසික සැපක් ඇද්ද, කුසල සහගත කායික-මානසික දුකක් ඇද්ද, යන මේ කරුණු පහ නො වෙයි.”
(ප‍්‍රීති සූත‍්‍රය – අං. නි. 03)

යම් කෙනෙක් ධර්මය අවබෝධ කිරීමට අවංක මහන්සියක් ගන්නවා ද එය කවදාවත් අපතේ යන්නේ නෑ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිහී යන අවසාන කාලයේ භික්ෂූන් වහන්සේලා හත්නමක් පර්වතයක් මුදුනට නැගලා ආහාර-පාන පවා ප‍්‍රතික්ෂේප කරලා භාවනාවෙහි යෙදුණා. එයින් එක්නමක් අරහත්වයට පත් වුණා. එක්නමක් අනාගාමී වුණා. ඉතිරි පස්නම කිසිම අවබෝධයක් නො ලබා එ් එ් තැන්වල ම අපවත් වුණා පෘථග්ජනයන් ලෙසට ම. හැබැයි අර භාවනාවේ යෙදීමෙන්, වීර්යය කිරීමෙන්, සිල් රැකීමෙන් රැස් වුණු සංස්කාර අළු යට ගිනි පුපුරු සේ සිත් තුළ තැන්පත් වුණා. එ් ගිනි පුපුරු දැල්වුණේ බොහෝ කාලයකට පසුව ගෞතම බුදු සසුනේදීයි. එයින් එක්නමක් තමයි ගෞතම බුදු සසුනේ වහා ධර්මය අවබෝධ කළ භික්ෂූන් අතරින් අග‍්‍ර වූ බාහිය දාරුචීරිය රහතන් වහන්සේ. එක්නමක් සේනාසන පනවන භික්ෂූන් අතරින් අග‍්‍ර වූ දබ්බ මල්ලපුත්ත රහතන් වහන්සේ. එක්නමක් විචිත‍්‍ර ධර්ම කථික භික්ෂූන් අතරින් අග‍්‍ර වූ කුමාර කස්සප රහතන් වහන්සේ. එක්නමක් සභිය රහතන් වහන්සේ. අනෙක් පුද්ගලයා වූ පුක්කුසාති රජතුමා අනාගාමී වෙලා බඹලොව උපන්නා.

ඇත්තෙන්ම මේ ප‍්‍රතිපත්ති පූජාව කරන්න නම් ජීවිත පූජාවත් කරන්න වෙනවා. අසංබෙය්‍ය කල්ප ලක්ෂ හතරක් පාරමී ධර්ම පුරන ලද අපගේ බෝසතාණන් වහන්සේ පවා, පාරමී ධර්ම සම්පූර්ණව තිබියදීත්, එ් ගුණ මහිමය මතු කර ගැනීම පිණිස ජීවිතය පැත්තකින් තිබ්බා. එ් වගේ ම, බෝසත් අවධියේ දී ගත්ත එ් වීර්යය ම ශ‍්‍රාවකයන්ටත් අනු දැන වදාළා.

‘‘පින්වත් මහණෙනි, කාරණා දෙකක වටිනාකම අවබෝධයෙන් ම දන්නවා. එනම්, කුසල් දහම්වල සෑහීමකට පත් නො වීමටත් (අසන්තුට්ඨිතා කුසලේසු ධම්මේසු), පධන් වීර්යය කිරීමේ දී නොපසුබස්නා උත්සාහයත් ය (අප්පටිවානිතා පධානස්මිං). පින්වත් මහණෙනි, මම නොපසුබස්නා උත්සාහයෙන් යුතුව වීර්යය කළේ මෙහෙමයි. ‘එ්කාන්තයෙන් ම මේ ශරීරයේ තියෙන හම, නහර, ඇට ඉතිරි වේවා! මස්, ලේ, වියළේවා! පුරුෂ ශක්තියෙන්, පුරුෂ වීර්යයෙන්, පුරුෂ පරාක‍්‍රමයෙන් යමක් සාක්ෂාත් කළ යුතු ද එතනට නො පැමිණ වීර්යය නවත්වන්නේ නෑ’ කියලා. එ් අප‍්‍රමාදී බව මුල් කරගෙන ම යි සම්බුද්ධත්වයට පත් වුණේ, අමා මහ නිවන සාක්ෂාත් කළේ.

පින්වත් මහණෙනි, ඔබ ද එ් විදියට ම නොපසුබස්නා උත්සාහයෙන් යුතුව වීර්යය කරන්න. ‘එ්කාන්තයෙන් ම මේ ශරීරයේ තියෙන හම, නහර, ඇට ඉතිරි වේවා! මස්, ලේ, වියළේවා! යම් පුරුෂ ශක්තියකින්, පුරුෂ වීර්යයකින්, පුරුෂ පරාක‍්‍රමයකින් යමක් සාක්ෂාත් කළ යුතු ද, එතනට නො පැමිණ මේ වීර්යය නම් අත්හරින්නේ නෑ’ කියලා. පින්වත් මහණෙනි, යම් අර්ථයක් පිණිස කුල පුත‍්‍රයෙක් ගිහි ගෙයින් නික්මිලා මනාකොට පැවිදි වෙයි ද ඔබ ද නොබෝ කලකින් ම එ් අනුත්තර වූ බ‍්‍රහ්මචාරී ජීවිතයේ කෙළවර වන අමා මහ නිවන මේ ජීවිතයේ දී ම තමන්ගේ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කර, උපදවාගෙන වාසය කරන්න.”
(උපක්ඤාත සූත‍්‍රය – අං. නි. 01)

එ් විදියට වීර්යය කරලා, තණ්හා සැඩ පහර කපාගෙන ඉහළට පීනලා, එ් නෙක්ඛම්ම අදහස් මුදුන් පමුණුවා ගත් රහත් භික්ෂූන් වහන්සේලා, වගේ ම රහත් භික්ෂුණීන් වහන්සේලාත් මේ ගෞතම බුදු සසුන ආලෝකවත් කළා.

‘‘මං හිටියේ හරිම නිදිමතෙන්. කුටියෙන් එළියට ආවෙත් නිදිමතේ ම යි. සක්මන් කරන්න හිතාගෙන සක්මනට ගොඩවෙද්දී, එතැන ම ඇද වැටුනා. මං ආයෙමත් නැගිට්ටා. අත්-පාවල වැලි පිස දැම්මා. සක්මනට ගොඩ වුණා. හිත හදාගෙන සක්මන් කළා. මනාකොට සිත එකඟ කර ගත්තා. එ් තුළින් ම යෝනිසෝ මනසිකාරය ඇති වුණා. ප‍්‍රකට වුණේ සංස්කාරයන්ගේ ආදීනව ම යි. අවබෝධයෙන් යුතුව ම කලකිරීමෙහි සිත පිහිටියා. මගේ සිත එ් නිසා ම කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගත්තා.”
(භගු තෙරුන්ගේ ගාථා – ථේර ථේරී ගාථා පාළිය)

‘‘එ්කාන්තයෙන් ම මේ ශරීරය බිඳී යේවා! මේ මස් ගොබ විසිරේවා! මගේ දණ හිස් දෙකෙන් මේ කෙණ්ඩා දෙක ගිලිහී යේවා! මේ හිතේ තියෙන තණ්හාව නැමති හුල උදුරා දමනතාක් මම කිසි දෙයක් වළඳන්නේ නෑ. කිසි දෙයක් පානය කරන්නේ නෑ. මේ කුටියෙන් එළියට යන්නෙත් නෑ. මා වාසය කළේ එ් විදියට. මගේ වීර්යය – පරාක‍්‍රමය දෙස බලන්න. මා ත‍්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කර ගත්තා.”
(මුදිත තෙරුන්ගේ ගාථා – ථේර ථේරී ගාථා පාළිය)

‘‘මා ගොඩක් දුකට පත්වෙලා, දුර්වල වෙලා හිටියේ. තරුණ කාලේ ගෙවිල ගිහින් හිටියේ. එ් වුණත් මා හැරමිටියෙ එල්ලීගෙන ගිජුකුළු පර්වතයට නැග ගත්තා. පාත්තරේ මුනින් නවලා පැත්තකින් තිබ්බා. ගල් පර්වතේ මත වාඩි වුණා. එතන දී තමයි මගේ සිත කෙලෙස්වලින් නිදහස් වුණේ. මාත් ත‍්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කර ගත්තා.”
(මෙත්තිකා තෙරණියගේ ගාථා – ථේර ථේරී ගාථා පාළිය)

‘‘ධර්මානුශාසනාව අහගෙන ඉන්න කොට මගේ හිතට සැපයක් ඇති වුණා. මං එක පළඟින් දවස් හතක් ම හිටියා. මේ අවිද්‍යා අන්ධකාර කෙලෙස් කඳ පළලා දාල, අටවෙනි දවසේ තමයි කකුල් දිග හැරියේ.”
(උත්තමා තෙරණියගේ ගාථා – ථේර ථේරී ගාථා පාළිය)

භාග්‍යවතුන් වහන්සේ කථා කරන වීර්යය කායික වීර්යයක් නො වේ. එ්ක මානසික වීර්යයක්. එ්ක හරි ම සියුම්. මේ මානසික වීර්යය කියන දේ හඳුනාගන්න බොහෝ ම ඉවසීමක් තියෙන්න ඕන. මෙහි දී ඉවසීම කියන්නෙ හීන වීර්යය කියලා වරදවා වටහා ගන්න හොඳ නෑ. ඇත්තෙන්ම මේ කියන ඉවසීම මතු කර ගන්නත්, හඳුනාගන්නත්, පවත්වන්නත්, දියුණු කර ගන්නත් වීර්යය කරන්න ඕනෙ. වීර්යය මතු කර ගන්නත්, හඳුනාගන්නත්, පවත්වන්නත්, දියුණු කරන්නත් ඉවසීම තියෙන්න ඕන. එ් කියන්නේ, මේ ධර්ම මාර්ගය – ආර්ය අෂ්ටාංගික මාර්ගය – සංඛත ධර්මයක් ලෙසයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ. හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගෙන හේතු නිරුද්ධ වීමෙන්, නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි. අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. තමාගේ වසඟයේ පවත්වන්න බෑ. එ් නිසා තම – තමාට අවශ්‍ය විදියට මාර්ගය වඩන්න බෑ. මෙතන දී ඉවසීම අවශ්‍ය වෙනවා. තම – තමාට අවශ්‍ය විදියට මාර්ගය වඩන්න බැරි නිසා ම තම – තමාට අවශ්‍ය විදියට ප‍්‍රතිඵල ලැබෙන්නෙත් නෑ. මෙතන දී ඉවසීම අවශ්‍ය වෙනවා. ඇත්තෙන්ම මාර්ගය වඩනවා කියලා කියන්නේ, මාර්ගය වැඩෙන විදියට හේතු සකස් කිරීමයි. අදාළ හේතු සම්පූර්ණ වුණා ම, අදාළ ප‍්‍රතිඵල ලැබෙනවා. ඉතින් ප‍්‍රතිඵල ලැබෙන තෙක් ඉවසීමෙන් ඉන්න වෙනවා, පටන් ගත් වීර්යය අත්හරින්නේ නැතුව. ඇත්තෙන්ම මේ ඉවසීම කියන්නේ සැබෑම වීර්යය පෝෂණය කරන එක්තරා ගුණයක්. එ්කයි ඉවසීම උතුම් ම තපස කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ (ඛන්තී පරමං තපෝ තිතික්ඛා)එ් ඉවසීම පිළිබඳ ව මෙන්න මේ විදියට පෙන්වා වදාළා.

‘‘පින්වත් මහණෙනි, වඩුවෙක් හෝ වඩුවකුගේ ගෝලයෙක් ඉන්නවා. ඔහුට වෑ මිටෙහි ඇඟිලි සලකුණු හෝ මහපට ඇඟිලි සලකුණු දකින්න ලැබෙනවා. ඔහුට අද මගේ වෑ මිට මෙච්චර ගෙවිලා ගියා. ඊයේ මෙච්චරක් ගෙවිලා ගියා. කලින් දවසේ මෙච්චරක් ගෙවිලා ගියා කියලා අවබෝධයක් ඇතිවන්නේ නෑ. නමුත් ගෙවී ගිය ගමන් ගෙවුනා කියා අවබෝධය ඇති වෙනවා.

එ් වගේ ම යි, සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් භාවනා වශයෙන් වඩන භික්ෂුවට අද මගේ ආශ‍්‍රව මෙච්චර ගෙවුනා. ඊයේ මෙච්චරක් ගෙවිලා ගියා. කලින් දවසේ මෙච්චරක් ගෙවිලා ගියා කියලා කිසිසේත් ම අවබෝධයක් ඇතිවෙන්නේ නෑ. නමුත් ගෙවී ගිය ගමන් ගෙවුනා කියා අවබෝධය ඇති වෙනවා.”
(වාසිජටෝපම සූත‍්‍රය – සං. නි. 03)

‘‘පින්වත් මහණෙනි, ගොවියාට අද ම මගේ ධාන්‍ය වැඬේවා! හෙට ම බණ්ඩි හැදී කිරි වැදේවා! අනිද්දා ම පැසේවා! කියා ඉර්ධියක්වත්, ආනුභාවයක්වත් නෑ. නමුත් යම් කලෙක, ඍතු පරිණාමයට අනුව සකස් වන එ් ධාන්‍යය වැඩෙනවා නම්, බණ්ඩි හැදී කිරි වැදෙනවා නම්, පැසෙනවා නම් එබඳු කාලයක් එනවා.

පින්වත් මහණෙනි, භික්ෂුවට අද ම මගේ සිත උපාදාන රහිතව ආශ‍්‍රවයන්ගෙන් මිදේවා! හෙට හෝ මිදේවා! කියා ඉර්ධියක්වත්, ආනුභාවයක්වත් නෑ. නමුත් යම් කලෙක, සීලය අනුව හික්මෙන, සමාධිය අනුව හික්මෙන, ප‍්‍රඥාව අනුව හික්මෙන එ් භික්ෂුවගේ සිත උපාදාන රහිතව ආශ‍්‍රවයන්ගෙන් මිදෙනවා ද එබඳු කාලයක් එනවා.”
(අච්චායික සූත‍්‍රය – අං. නි. 01)

බුදුරජාණන් වහන්සේනමක් මේ ලෝකයට පහළ වන්නේ සියලූ ගුණ ස්කන්ධයන් තනි පුද්ගලයෙක් තුළ උපරිම මට්ටමෙන් පිරී – ඉතිරී යාම නිසයි. එ් අසාමාන්‍ය ගුණය හේතු කරගෙන උන් වහන්සේ ලෝක සත්වයාට යම් කරුණාවක්, අනුකම්පාවක්, හිතවත්කමක් දක්වනවා ද එ් ගැන ලෝක සත්වයාට එ් විදියට ම තේරෙන්නේ නෑ. මොකද, එ් හා සමාන ගුණ ස්කන්ධයන් වෙනත් කෙනෙකු තුළ දකින්නට නැති නිසා. භාග්‍යවතුන් වහන්සේ දක්වන එ් කරුණාව, අනුකම්පාව සුළු වශයෙන් හෝ කෙනෙකුට තේරුම් ගැනීමට මහා ප‍්‍රඥාවක්, ගැඹුරු ප‍්‍රඥාවක්, පළල් ප‍්‍රඥාවක් අවශ්‍ය වෙනවා. ‘මේ ලෙඩ වුණ කෙනෙක්, මේ වයසට ගිය කෙනෙක්, මේ කෙනාට වගකීම් වැඩියි, ධර්මයේ හැසිරෙන්න මෙයාට නම් කාලෙ අඩුයි වගේ, මේ ගොඩක් ප‍්‍රශ්නවලට මැදි වුණ කෙනෙක්, මේ කෙනාට කරන්න තව වැඩ ටිකක් තියෙනවා, මේ කෙනාට ඉෂ්ට කරගන්න බැරි වුණ තව බලාපොරොත්තු තියෙනවා, මේ කෙනාට පාඩුවේ ඉන්න දෙමු, මේ කෙනාගේ පින දුර්වලයි, මේ කෙනා නම් පින්වන්තයි’ කියමින් සංසාරයෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, අවිද්‍යාවෙන් ආදි කිසිවකින් සමාවක් ලැබෙන්නේ නෑ. අතීතයේ ලැබුණෙත් නෑ. අනාගතයේ ලැබෙන්නෙත් නෑ.

‘‘පින්වත් මහණෙනි, ශ‍්‍රාවකයන්ට හිතවත් වූ, අනුකම්පාවෙන් යුක්ත වූ ශාස්තෘන් වහන්සේනමක් විසින් අනුකම්පාව උපදවාගෙන යමක් කළ යුතු ද අන්න එ් දේ ඔබ වෙනුවෙන් මා කරලයි තියෙන්නේ. මේ තියෙන්නේ ගස් සෙවණ, මේ තියෙන්නේ සුක්ඤාගාර. පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන්න (ඣායථ භික්ඛවේ). ප‍්‍රමාද වෙන්න එපා. පස්සේ පසුතැවිල්ලට පත්වෙන්න එපා. මේකයි ඔබට අප කරන අනුශාසනාව”.
(කම්ම සූත‍්‍රය – සං. නි. 04)

මහාමේඝ 2014 ඉල් කලාපය
WWW.MAHAMEGHA.LK

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.

දහම් මග පමා කරන ත‍්‍රිවිධ මදයන්

$
0
0

මේ සිත කිලිටි වෙන උපක්ලේශයක් තමයි මදය. මදය කියන්නෙ, මත් වෙනවා. මොකෙන්ද මත් වෙන්නෙ? මම නම් ලේසියෙන් මැරෙන්නෙ නෑ කියලා ජීවිත මදයෙන්, යෞවන මදයෙන් – තරුණකමින්, ආරෝග්‍ය මදයෙන් – ලෙඩක් නැතිව ඉන්නවා කියලා.

මත් වෙච්ච ජීවිතයක් තුළ තියෙන්නේ විනෝදය විතරයි. ආරෝග්‍ය මදය, ජීවිත මදය, යෞවන මදය තියෙන එක්කෙනා බලන්නෙ ආස්වාදයක් විඳින්න විතරයි. ඊට පස්සෙ අකුසල් කරනවා. මත් වෙලා ඉන්නෙ එයා, දන්නෙ නෑ තමනුත් මරණයට උරුම වෙච්ච සත්වයෙක් කියලා. විනෝද වෙන්න නරක වැඩ කරන්න යමන් කියලා කියන කොට එක පයින් එයා ලෑස්ති වෙනවා යන්න. ඇයි? මත් වෙලානෙ ඉන්නෙ.

මේ මත්වීම නැති කර ගන්න මොකක්ද කරන්න ඕන? මරණ සතිය වඩන්න ඕන. මේ ජීවිතය බොහොම තාවකාලික එකක්. මරණ සතිය වඩල මේ ජීවිතයේ අස්ථීර බව සිහි කරන්න ඕන. ලෙඩ රෝගවලට ගොදුරු වෙච්ච එකක් මේ ශරීරය කියල සිහි කරන්න ඕන. යෞවන බව අවසන් වෙනවා මහලූ වීමත් එක්ක. නිරෝගී බව අවසන් වෙනවා රෝගී වීමත් එක්ක. ජීවිතය අවසන් වෙනවා මරණයත් එක්ක. එහෙනම් ‘අපට මත් වෙන්න දෙයක් නෑ’ කියල අවබෝධ කර ගන්න ඕන.

මදයත් එක්ක තියෙනවා ප‍්‍රමාදය. ප‍්‍රමාදයෙන් ගැලවෙන්න නම් සතර අපා භය හිතන්න ඕන. ‘මම සතර අපායෙන් මිදිච්ච කෙනෙක් නෙමෙයි. මේ සංසාරෙ යන්න ඕන සතර අපායට දොරටු විවෘත කරගෙනයි. මැරිල ගිහින් තිරිසන් අපායෙ උපන්නොත්, පේ‍්‍රත ලෝකයේ උපන්නොත් කවුරුවත් එනව ද බේරන්න?’

බුද්ධ කාලෙ හිටියා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ පෙරේතයෝ වෙච්ච අය. ගෞතම බුදුරජාණන් වහන්සේත් පහළ වෙලා. නමුත් මිනිසුන්ගේ ආයුෂ 20,000 තිබිච්ච කාලෙ පෙරේතයො වෙච්ච අය තවමත් පෙරේත ලෝකයේ. දැන් සාමාන්‍යයෙන් දානමාන දීල පින් දෙනවනෙ. පෙරේත ලෝකයෙන් මුදවන්න බෑ පින් දීලා. පින් දීම මෙහෙම එකක්. මම ඔබට උපමාවක් කියන්නම් තේරෙන්න.

හිර ගෙයක බඩගින්නෙ ඉන්නවා අපේ ඤාතීන් කවුරු හරි. අපි එ්ගොල්ලන්ට කෑම යවනවා. ‘ආ මෙන්න හදාගෙන ආව කන්න බොන්න’ කියලා ටිකක් යවනවා වරින් වර. හිරෙන් නිදහස් කරන්න බෑ අපට. අර බඩගින්න නැති කරන්න උදව් කරන්න පුළුවන්. ඇඳුම් නෑ. අපි ඇඳුමක් යවනවා මාසෙකට වතාවක්, අවුරුද්දකට වතාවක් ‘අඳින්න’ කියලා. හිර ගෙයින් බේරන්න බෑ.

අන්න එ් වගේ පෙරේත ලෝකෙන් අපට කෙනෙක් මුදවන්න බෑ. එකම දෙයයි කරන්න පුළුවන්. මෙලොවින් පින් දීලා, එ් පින්වලින් එයාට යම්කිසි සැනසිල්ලක් උදාකරවන්න පුළුවන්. නමුත් එ් පින් දෙන එක්කෙනත් කලක් යනකොට මැරිල යනවා. ඊට පස්සෙ ආයෙ එයාට පින් නැතිව යනවා. ආයෙමත් අර පෙරේත ලෝකෙ ඉන්න ඕන එයා. සමහරවිට අවුරුදු දහස් ගානක් ඉන්න වෙනවා.

නිරයේ ගියොත් කිසිම බේරිල්ලක් නෑ. තමන් අතින් කෙරිච්ච ඔක්කෝම අකුසල් ටික මතක් කරල දෙනවා යමරජ්ජුරුවෝ. මතක් කරල දීල කියනවා ‘‘කරන්න දෙයක් නෑ. තමන් රැස් කර ගත්තු දේ දැන් ඉතින් විඳවන එකයි ඇත්තේ” කියලා. අන්න විඳවන්න පටන් ගන්නවා.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එ් ප‍්‍රමාදය හිතට කිලූටක්. දැන් ඔබට සිත අපිරිසිදු වෙන හැටිත් මම කිව්වා. එ්කෙන් හිත බේරගන්නෙ කොහොමද කියලත් පෙන්වා දුන්නා.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එ් අකුසලවලින් හිත බේරගත්තු එක්කෙනා බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්නවා. ඇයි? බුදුරජාණන් වහන්සේ මේ ධර්මය කියා දුන්නේ නැත්නම් අපට කවදාවත්ම මේ හිත අකුසලයෙන් බේරල, කුසලයේ පිහිටුවා ගන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. එ්ක ලෝකයේ කවුරුවත් දන්නේ නෑ. එ්ක දන්නෙ බුදුරජාණන් වහන්සේ විතරයි.

මේ දහම් කරුණු ඔබ හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධ කර ගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!
හැම දෙනාටම තෙරුවන් සරණයි!
නමෝ බුද්ධාය !

මහාමේඝ 2015 දුරුතු කලාපය
WWW.MAHAMEGHA.LK

- අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

නෙක්ඛම්ම ලෝකයට දොරටුවකි දුක නම් වූ ආර්ය සත්‍යය

$
0
0

‘වංතලෝකාමිස’ කියන්නෙ අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කියන නමක්. කාම ගුණ බැහැර කළ නිසා යි භාග්‍යවතුන් වහන්සේට එ් නාමය යොදන්නේ. මොනව ද මේ කාම ගුණ කියන්නෙ? රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස කියන මේවායි කාම ගුණ කියන්නේ. එතකොට එ් කාම ගුණ අපිට ග‍්‍රහණය වෙන්නෙ මොනවායින් ද? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් නේ ද? අන්න එ් විදිහට ග‍්‍රහණය වෙන සියල්ල හිතට යන්නෙ නිමිති, අනුනිමිති හැටියටයි. අන්න එ් අර්බුදය අපේ අභ්‍යන්තර ලෝකය ම වෙලා ගන්නව. එ් නිසා පැටලෙන පැටලවිල්ල අපිව සංසාරෙ දීර්ඝ කාලයක් අරගෙන ආව. තව නො පෙනෙන අනන්ත දුරක් යන්න තියෙනව. කාමය කියන්නෙ ආස්වාදයක් තියෙන දෙයක්.

රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන මේ පංච කාම ගුණවලට කියන්නෙ ආමිස කියලයි. අන්න එ් ආමිස අරමුණු කර ගත්, ආමිස සහිත වූ සැප විඳීමක් විඳින කොට එයා එ් ආමිසය ඇසුරු කරන්නේ මුළා වූ සිතකින්. එයා ඇසට, කනට, නාසයට, දිවට, කයට එන නිමිති අනුනිමිති ඔස්සේ මුළා වූ සිතින් අයෝනිසෝ මනසිකාරයේ යෙදෙනව. එ් නිමිතිවලට ඇලිලත් අයෝනිසෝ මනසිකාරය කරනව, ගැටිලත් අයෝනිසෝ මනසිකාරය කරනව, මුළා වෙලත් අයෝනිසෝ මනසිකාරය කරනව.

‘‘නිරාමිස” කියන්නෙ කලින් කී ආමිසයෙන් වෙන් වීමයි. මෙන්න මේ නිරාමිස ඇසුර විසිනුයි කෙනෙක්ගේ සිත නෙක්ඛම්මයට නැඹුරු වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ අපට මේ විදිහට කියා දෙනවා.

‘‘ආනන්දය, යම් කෙනෙක් මෙසේ පවසන්නට පුළුවනි. ‘සත්වයන් එ්කායන පැතුම වශයෙන් තබාගෙන විඳින්නේ මේ පංච කාම ගුණයෙන් ලබන්නා වූ සැපය යි, සොම්නස යි’ කියා කියනවා නම්, මා එය අනුමත කරන්නේ නෑ. මක් නිසා ද යත්; පින්වත් ආනන්දය, මේ කාම සුඛයට වඩා සුන්දරතර වූත්, ප‍්‍රණීතතර වූත් වෙනත් සැපයක් තියෙනවා. ආනන්දය, මේ කාම සුඛයට වඩා සුන්දරතර වූත්, ප‍්‍රණීතතර වූත් වෙනත් සැපය කුමක් ද? ආනන්දය, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත්, ප‍්‍රීති සුඛය ඇති ප‍්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරනවා. ආනන්දය, එ් කාම සුඛයට වඩා සුන්දරතර වූත්, ප‍්‍රණීතතර වූත් වෙනත් සැපය නම් මෙය යි.”
(බහුවේදනීය සූත‍්‍රය, ම. නි. – 2 – ගහපති වර්ගය – 2.1.9.)

එහෙනම් නෙක්ඛම්ම ලෝකයේ ‘සැපය’ කියන්නෙ ධ්‍යාන සැපයටයි. බලන්න මේ බුද්ධ වචනය.
‘‘උදායී, මේ ධ්‍යාන සැපයට කියන්නේ නෙක්ඛම්ම සුඛය කියල යි. පවිවේක සුඛය කියල යි. සන්සිඳීමෙන් ලත් සුඛය කියල යි. අවබෝධයෙන් ලත් සුඛය කියල යි. මෙම ධ්‍යාන සැපය සේවනය කළ යුතුයි. වැඩිය යුතුයි. බහුල වශයෙන් වැඩිය යුතුයි. මෙම ධ්‍යාන සුඛයට භය නො විය යුතුයි කියල යි මා කියන්නේ.”
(ලටුකිකෝපම සූත‍්‍රය, ම. නිත – 2 – භික්ඛු වර්ගය – 2.2.6.)

නෙක්ඛම්ම ලෝකයේ මිහිරි සැපය වන ධ්‍යාන සැපය අත් විඳින්න අවස්ථාවක් නො ලැබෙන්නේ කාම ලෝකයේ සැපය වෙනුවෙන්, එ් සැපය උපද්දවනු පිණිස ජීවත් වෙන රටාවකට අපි උරුමයෙන් ම හිර වෙලා වාසය කරන නිසයි. එ් කාම සැපය සෙවීමේ අර්බුදය තුළ හිරවීමෙන් අත්මිදෙන්නට කෙනෙක්ට කැමැත්ත ඇති වුණත් එයාට එ්ක කර ගන්න වීරියක් නෑ, වටා පිටාවක් නෑ, උපකාරයක් නෑ. කාම ලෝකයේ එදිනෙදා කටයුතු කර ගන්න බැරි වුණොත් කන්න බොන්නවත් නැති විදිහට අසරණ කරලයි තියෙන්නෙ.

දවසක වැඩ කටයුතු යෙදිල තියෙන්නෙ කාම ලෝකයෙන් ලැබෙන ආස්වාදය ඔස්සේ එ් ආස්වාදය හොයන්න නියම කරපු ලෝකයක් ඔස්සේ යි. එ්ත් කාමයේ ආදීනවයක් තියෙනව, එ් කාමයන්ගෙන් නික්ම යාමක් තියෙනව කියන කාරණය හිතකට දකින්න පුළුවන් මේ ධර්මය ඇසීමෙන් ම යි. කාමයන්ගේ ආදීනවයක් නිස්සරණයත් නො දකින හිත රූපයේ වහල් බවටයි පත් වෙලා ඉන්නෙ. එ් වගේ ම ශබ්දයේ, ගඳ සුවඳේ, රසයේ, පහසෙ වහල් බවට පත් වෙලා ඉන්නෙ. මෙන්න මේ විදිහට කාමයේ අර්බුදය අපේ හිතේ හැදෙනව. එ් හැදිල අපි කාම ලෝකයේ වහලූන් වෙලා ජීවත් වෙන්නෙ මේ නිසා යි. බුදුරජාණන් වහන්සේ කියා දෙනව,

‘‘පින්වත් මහණෙනි, කාමයන්ගේ ආස්වාදය කියල කියන්නෙ මොකක් ද? පින්වත් මහණෙනි, මේ කාම ගුණ පහක් තියෙනවා. එ් පහ මොනවා ද? ඇසෙන් බලන රූප තියෙනවා බොහොම ලස්සන, සිත් ඇද ගන්න, කැමැත්ත ඇති වෙන, රාගය ඇති වෙන. කනෙන් අහන ශබ්ද තියෙනවා, නාසයෙන් දැන ගන්න ගඳ-සුවඳ තියෙනවා, දිවෙන් දැන ගන්න රස තියෙනවා, කයට දැනෙන පහස තියෙනවා බොහෝ ම හොඳ, සිත් ඇද ගන්න, කැමැත්ත ඇති වෙන, රාගය ඇති වෙන. පින්වත් මහණෙනි, ඔය පහට කියන්නෙ කාම ගුණ කියලයි. ඉතින් පින්වත් මහණෙනි, මේ කාම ගුණ පහ හේතු කරගෙන යම් කිසි සැපක්, සොම්නසක් ඇති වුණොත් එ්ක තමයි කාමයන්ගේ ආස්වාදය.”
(මහා දුක්ඛක්ඛන්ධ සූත‍්‍රය – ම. නි. – 1 – සීහනාද වර්ගය)

‘මෙන්න මේ ආස්වාදය තමයි ජීවිතය’ කියන සංකල්පයේ ඉන්න තාක්, ජරා මරණ නම් වූ අවබෝධය ඇති කර ගැනීමේ අවස්ථාව අපි අහිමි කර ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයාට නෙක්ඛම්ම ලෝකය සඳහා ෙදාර විවර වෙන්නේ ජරා මරණ සිහි කිරීමෙන්. ජරා මරණ සිහි කිරීමෙන් නෙක්ඛම්මයට ඇති කැමැත්ත, ඡුන්දය දියුණු වෙන්න පටන් ගන්නවා. නෙක්ඛම්ම විතර්ක පවත්වන්න පවත්වන්න ඔහුගේ ජීවිතයේ සත්‍යය දකින්න අවස්ථාව ශ‍්‍රාවකයාට හිමි වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා,

”පින්වත් මහණෙනි, හිතේ ස්වභාවය මේකයි. බහුල වශයෙන් යම් ම දෙයක් සිතනවා නම්, කල්පනා කරනවා නම්, හිත හිතා ඉන්නවා නම් එ් පැත්තට ම යි සිත නැමිලා තියෙන්නෙ. පින්වත් මහණෙනි, ඉතින් භික්ෂුවක් සිත සිතා ඉන්නෙ, බහුල වශයෙන් කල්පනා කර කර ඉන්නෙ නෙක්ඛම්ම විතර්ක නම්, කාම විතර්ක ඇති වෙන්නෙ නෑ. බහුල වශයෙන් ඇති වෙන්නෙ නෙක්ඛම්ම විතර්ක ම යි. එතකොට ඔහුගේ සිත නැමිල තියෙන්නෙ නෙක්ඛම්ම විතර්කවලට ම යි.
(ද්වේධා විතක්ක සූත‍්‍රය – ම. නි. – 1 – සීහනාද වර්ගය )

මොනවද මේ නෙක්ඛම්ම විතර්ක කියන්නෙ? කාමයන්ගෙන් තොර දේ, බුද්ධ වචනයට අනුව ලෝකය ගැන සිතන දේ, යෝනිසෝ මනසිකාරයට අයත් දේ තමයි නෙක්ඛම්ම විතර්ක වෙන්නේ. බලන්න නෙක්ඛම්ම විතර්කයක් වන අසුභය ගැන භාග්‍යවතුන් වහන්සේ කියා දෙන ධර්ම කාරණය ගැන..

‘‘එ් භික්ෂුවට කාමයන්ගෙන් නික්මීම වූ අසුභය මෙනෙහි කරද්දී එ් නෙක්ඛම්මයෙහි සිත බැසගනියි. පහදියි. පිහිටයි. ගැලෙයි. ඔහුගේ එ් සිත මැනැවින් නෙක්ඛම්මයට ගියේ ය. මැනැවින් දියුණු වූයේ ය. කාමයන්ගෙන් මැනැවින් නැගී සිටියේ ය. මැනැවින් මිදුණේ ය. මැනැවින් කාමයන්ගෙන් විසංයුක්ත වූයේ ය. කාමයන් හේතුවෙන් දුක් පරිදාහ ඇති යම් ආශ‍්‍රවයෝ උපදිත් නම් හේ එයින් මිදුණේ වෙයි. හේ එ් කාම වේදනාව නො විඳියි. මේ අසුභ සමාධිය කාමයන්ගේ නික්ම යෑම යැයි කියන ලදී.”
(සංගීති සූත‍්‍රය – දී. නි. – 3 – පාථික වර්ගය)

අපේ ජීවිතයේ ළමා කාලය මතක ද? කාම විතර්ක කියන හැඟීම තියෙනව ද? මේ කාලයේ වුණත් නිරාමිස විවේකයෙන් ඉන්න අවස්ථාවක් ගැන සිහි කරන්න. නැත්නම් අසපුවකට ගිහින් වත් පිළිවෙත් ආදිය කරන අවස්ථාවක් හෝ දහම් වැඩසටහනක දී බණ භාවනා කරන අවස්ථාවක් සිතන්න. එතකොට කාම විතර්ක පවත්වනව ද අපි? නැහැ නේ ද? පරිසරයෙන්, ඇසුරු කරන පිරිසෙන් ලැබෙන අනුග‍්‍රහය නිසා තමයි එ් නෙක්ඛම්ම අදහස් පවත්වන්න අපට උනන්දුවක් තියෙන්නෙ. එ්ත් අපි හිතුවොත් ”ආ දැන් මට කාම විතර්ක එන්නෙ නෑනෙ” කියල අපි හිතට මුළා වෙනව. බලන්න බුදුරජාණන් වහන්සේ මේ කාරණය හෙළි කරනව.

‘‘මාලූංක්‍යපුත්ත, උඩු අතට නිදන ඉතා ළාබාල ළදරුවෙකුට ‘කාමය’ කියන හැඟීමවත් නෑ. එහෙම එකේ ඔහුට කාමයන්හි ‘කාමච්ඡුන්දය’ උපදින්නෙ කොහොම ද? ඔහුට කාමච්ඡුන්දය පවතින්නෙ ප‍්‍රකට නො වී අභ්‍යන්තරිකව පවතින දෙයක් (අනුසය) හැටියට යි.”
(මහා මාලූංක්‍ය සූත‍්‍රය – ම. නි. – 2 – භික්ඛු වර්ගය – 2.2.4.)

හිතේ හැංගිච්ච අකුසල් තිබිය දී ‘‘අකුසල් දුරු වෙලා” කියා ඇතිවන හැඟීම මහා භයානක එකක්. තමා ජීවත් වෙන පරිසරයේ අනුග‍්‍රහය නිසා කාමයන් දුරු වෙලා වගේ හැඟීමක් අපිටත් ඇති වෙන්න පුළුවන් නේ ද? අන්න එ් අනතුර නො වෙන්න නම් අපි අවංක භාවය උපදවා ගන්න ඕනැ. අනුන්ගේ අවවාද අහන කීකරු භාවය උපදවා ගන්න ඕනැ. අන්න එයාට අවස්ථාව ලැබෙනව, අන් අයගේ අවවාද පිළිගෙන තමන්ට නො පෙනෙන අකුසල් පිරිසිදු කර ගන්න. අන්න එයා කාමයන්ගෙන් තොර නෙක්ඛම්ම ලෝකය තමා තුළ ඇති කර ගන්නට උත්සාහ කරනව. එ් ශ‍්‍රාවකයාට දකින්න පුළුවන් ‘මේ හිරිහැර සියල්ල කාමයන් නිසා නේ ද?’ කියල. කාමයන්ගෙන් තොර ලෝකයක් උදෙසා තමාට කාමයන් එන ෙදාරටු සංවර කරගෙන ඉන්ද්‍රිය සංවරයට පත් වෙනව. අන්න එයාට කය වචනය සිත පිරිසිදු වෙන්න ගන්නව. එයා තථාගතයන් වහන්සේගේ ආරක්ෂිත භූමිය හෙවත් සතර සතිපට්ඨානයට පිවිසිලා එ් අමා මහ නිවන් දොරටුව දෙසට ගමන් කරන ශ‍්‍රාවකයෙක් වෙනව.

මහාමේඝ 2015 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.

බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක!

$
0
0

එක ම එක පුද්ගලයෙකුගේ පහළ වීම මේ ලෝකයේ බොහෝ දෙව් මිනිසුන්ට යහපත පිණිස, සැපය පිණිස පවතිනවා. ඒ වගේ ම ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයක් ලෙස මේ ලෝකයේ උපදින එක ම එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ එක ම එක පුද්ගලයා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණේ වයස අවුරුදු තිස් පහේ දී. උන් වහන්සේ පිරිනිවන් පෑවේ වයස අවුරුදු අසූවේ දී. ඒ අවුරුදු හතළිස් පහක කාලසීමාව තුළ උන් වහන්සේ වැඩ සිටියේ මේ ලෝකයේ කිසිවෙකුට දෙවැනි නො වූ පරිපූර්ණ වූ සීලයක් දරාගෙනයි. පරිපූර්ණ වූ සමාධියක් දරාගෙනයි. පරිපූර්ණ වූ ප‍්‍රඥවක් දරාගෙනයි. අපි මේ ලිපියෙන් ඔබට පැහැදිලි කර දෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ‘විජ්ජාචරණ සම්පන්න’ ගුණය පිළිබඳවයි.

‘විජ්ජා’ කියන්නේ විද්‍යාව. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය, ප‍්‍රඥාව, ඤාණය විද්‍යාව ලෙසින් හඳුන්වනවා. උන් වහන්සේට පුළුවන් මේ සංසාරේ පෙර ගත කරපු ජීවිත ආත්ම භාව ලක්‍ෂ ගණන්, කල්ප ගණන් ආපස්සට සිහි කරන්න. කල්පය කියන්නේ ඉතා දීර්ඝ කාල පරිච්ඡේදයකට කියන නමක්. කල්පයකට මෙතරම් අවුරුදු ගණනක් තියෙනවා කියලා සංඛ්‍යාවකින් කියන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කල්පය ගැන උපමාවක් වදාළා.

යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස, යකඩ පවුරකින් වටවෙච්ච නගරයක් තියෙනවා. මේක ඇතුළේ සම්පූර්ණයෙන් ම අබ ඇට පුරවලා තියෙනවා. අවුරුදු සියයකට වතාවක් එක පුද්ගලයෙක් එතැනින් එක අබ ඇටය ගානේ අයින් කරනවා. මේ විදිහට අවුරුදු සියයකට වතාවක් එක අබ ඇටය ගානේ අයින් කරලා ඒ අබ ඇට සියල්ල ම අවසන් වීමට යම් කාලයක් ගත වෙනවා ද ඒත් කල්පය අවසන් වෙන්නේ නැහැ. ඒතරම් දීර්ඝ කාල පරිච්ඡේද සිය දහස් ගණන් අතීතයේ ගත කරපු ජීවිත සිහි කර බලන්න බුදුරජාණන් වහන්සේට පුළුවන්. ‘කොහේද ඉපදිලා හිටියේ? කවුරු වෙලා ද ඉපදිලා හිටියේ? ඒ කාලේ නම මොකක්ද? කෑවේ බිව්වේ මොනවා ද? සැප දුක් වින්ඳේ කොහොමද? කොහොමද මරණයට පත්වුණේ? ඒ මැරිලා නැවත කොහේද ඉපදුණේ?’ මේ විදිහට විස්තර වශයෙන් සිහි කරන්න පුළුවන්. එම හැකියාව හඳුන්වන්නේ ‘පුබ්බේ නිවාසනුස්සති ඤාණය’ ලෙසයි.

ඒ වගේ ම බුදුරජාණන් වහන්සේට පුළුවන් මේ ලෝක සත්වයන් කර්මානුරූපව සුගති, දුගති ලෝකවල උපදින හැටිත් – චුතවෙන හැටිත් දිවැසින් දකින්න, එයට කියන්නේ ‘චුතූපපාත ඤණය’ කියලයි. ඒ වගේ ම වෙනත් සත්වයන්ගේ – වෙනත් පුද්ගලයන්ගේ සිතේ පවතින ස්වභාවයත්, ඔවුන් සිතන දේත් දැනගන්න උන් වහන්සේට පුළුවන්. එය ‘පරචිත්ත විජාණන ඤණයයි.’ ලොකයේ ඕනෑම තැනක ඕනෑම දුරක සිටින දෙවියන් මිනිසුන් කතාබස් කරන දෙවල් අහන්නත් බුදුරජාණන් වහන්සේට පුළුවන්. එයට කියන්නේ ‘දිබ්බ සෝත ඤණය’ කියලයි.

බුදුරජාණන් වහන්සේට තිබුණු තවත් සුවිශේෂී හැකියාවක් තමයි නොයෙක් ආකාරයේ ඍද්ධි ප‍්‍රාතිහාර්යයන් පෑමේ හැකියාව. උන් වහන්සේට තනි කෙනෙක් හැටියට පෙනී ඉඳලා බොහෝ දෙනෙක් හැටියට පෙනී ඉන්න පුළුවන්. බොහෝ දෙනෙක් හැටියට පෙනී ඉඳලා තනි කෙනෙක් හැටියට පෙනී ඉන්නත් පුළුවන්. බිත්ති, ප‍්‍රාකාර, පර්වත හරහා සිරස් අතටත් තිරස් අතටත් විනිවිද ගමන් කරන්න පුළුවන්. ජලයෙහි කිමිදෙන්නා සේ පොළොවේ කිමිදීමත් උඩට මතුවීමත් කරන්න පුළුවන්. කුරුල්ලෙක් අහසේ පියඹා යනවා වගේ අහසේ පළඟක් බැඳගෙන වාඩිවෙලා ඉන්නත් පුළුවන්. සක්මන් කරන්නත් පුළුවන්. මේ සා මහා ඍද්ධිමත් මහානුභාව සම්පන්න හිරුත් සඳුත් අතින් ස්පර්ශ කරන්න පුළුවන්. බඹලොව දක්වා කයෙන් වසඟ කරන්නත් පුළුවන්. ඒ වගේ ම තම සිරුරින් එකවිට ගිනිදැල් හා දිය දහරා විහිදුවන්නත් පුළුවන්. ‘යමක මහා ප‍්‍රාතිහාර්යය’ කියන්නේ එයටයි.

මේ සියලූ ඤණයන් බුදුරජාණන් වහන්සේ ලබාගත්තේ තම සිත දියුණු කිරීමෙනුයි. උන් වහන්සේ නොයෙක් අවස්ථාවල ඍද්ධි ප‍්‍රාතිහාර්යය පෑවත් ඒ් පිළිබඳ වර්ණනා කළේ නැහැ. ප‍්‍රාතිහාර්යය දැක්වීමෙන් මිනිසුන් ව තමන් වෙත නම්මා ගැනීමට හෝ පහදවා ගැනීමට උන් වහන්සේ කිසිසේත් කැමති වුණේ නැහැ. මොකද මේ ප‍්‍රාතිහාර්යයන් නොයෙක් මන්තර ශාස්ත‍්‍ර බලයෙනුත්, මායා බලයෙනුත් පෙන්වන්න පුළුවන් නිසා. ඒ වගේ ම මේ ප‍්‍රාතිහාර්යය පෑම තුළින් මිනිසුන් තුළ තාවකාලික පැහැදීමක් ඇතිවන නමුත් එයට මිනිසාගේ ප‍්‍රඥව, බුද්ධිය දියුණු කළ නො හැකියි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සෑම විට ම මහන්සි ගත්තේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කිරීම තුළින් දෙව් මිනිසුන්ගේ ප‍්‍රඥව දියුණු කිරීමට යි.

ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිත තුළ පැවති සියලූ ආශ‍්‍රව ප‍්‍රහාණය කළා. ආශ‍්‍රව තුනක් තියෙනවා. පංච කාමයන් කෙරෙහි තියෙන ආශාව (කාම ආශ‍්‍රව), විපාක විඳින්න කර්ම සකස්වීම (භව ආශ‍්‍රව), චතුරාර්ය සත්‍යය පිළිබඳ අනවබෝධය (අවිද්‍යා ආශ‍්‍රව). මේ ආශ‍්‍රව බුදුරජාණන් වහන්සේ තම සිතින් මුල් පිටින් ම උදුරලා දැම්මා. නැවත හටනොගන්නා ලෙසට ම අභාවයට පත්කළා. ඒ ගැන ඇති අවබෝධය ‘ආසවක්ඛය ඤණයයි’. මේ ලෝකයේ කිසිවෙකුටවත් ‘ඔබ වහන්සේ සියලූ කෙලෙස් ප‍්‍රහාණය කළා කිව්වට මේ මේ කෙලෙස් තවමත් ඔබ වහන්සේ තුළ තියෙනවා නෙව’ කියලා බුදුරජාණන් වහන්සේට චෝදනා කරන්න බැහැ, අභියෝග කරන්න බැහැ. මේ සියලූ ඤණයන් අයත් වන්නේ බුදුරජාණන් වහන්සේගේ විද්‍යාවටයි.

‘චරණ’ යනු හැසිරීමයි. සීලය, ඉන්ද්‍රිය සංවරය, සිහි නුවණ, සමාහිත සිත් ඇති බව, ඉවසීම, වීර්යය, අට ලෝ දහමින් කම්පා නො වීම ආදි ගුණධර්ම අයත් වන්නේ බුදුරජාණන් වහන්සේගේ චරණ ධර්මයන්ටයි. බුදුරජාණන් වහන්සේ කිසි ම දිනක කිසි ම සතෙකුට හිංසාවක් පීඩාවක් කළේ නැහැ. තමන් ජීවත් වීමට කැමති – මරණයට අකමැති කෙනෙකු සේ ම අන් සියලූ සත්වයෝමත් ජීවත් වීමට කැමති – මරණයට අකමැති අයයි. ඒ නිසා උන් වහන්සේ කිසි විටෙක බිලි පූජා අනුමත කළේ නැහැ. මිනිස් කළලයේ සිට මරණ මංචකය දක්වා කිසිඳු මනුෂ්‍යයෙකුව ඝාතනය කිරීම පිණිස උන් වහන්සේ වචනයකින් හෝ චේතනාවකින්වත් අනුබල දුන්නේ නැහැ. තමන් වහන්සේ ව විනාශ කිරීමට පැමිණි අය කෙරෙහි පවා මෙත් සිත ම පැතිරූ බුදුරජාණන් වහන්නේ තම ආගම ව්‍යාප්ත කිරීමේ අදහසින් මනුෂ්‍ය වර්ගයාට එරෙහිව අවි එසවූයේ නැහැ. එමෙන් ම උන් වහන්සේ අන් සතු වස්තුව සොරකම් කළේ හෝ බලහත්කාරයෙන් පැහැරගත්තේ නැහැ. උන් වහන්සේ පරම පාරිශුද්ධ වූ බ‍්‍රහ්මචාරී ජීවිතයක් ගත කොට වදාළා.

ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ මුසා බස් පවසා ලෝකයාව මුළා කළේ නැහැ. කේළාම් කියා එකිනෙකා බිඳවූයේ නැහැ. අන් අය තුළ ද්වේෂය ඇතිවෙන නපුරු වචන කථා කළේ නැහැ. අර්ථ ශූන්‍ය හිස් වචන, විහිළු තහළු, දේශපාලන කථා ආදිය උන් වහන්සේගේ කථාබහට සම්බන්ධ වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ කථා කළේ ධර්මය පමණයි, හික්මෙන්නට වුවමනා දේ පමණයි. අර්ථවත් දේවල් පමණයි. සත්‍ය වූ දේවල් පමණයි. මතක තබාගැනීමට සුදුසු දේවල් පමණයි. එය ද සුදුසු කාලයටයි. සීමා සහිතවයි.

ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ ආරාමයෙන් පිටතට වඩින විට පළමුවෙන් ම පෙරට තබන්නේ තමන්ගේ දකුණු පාදයයි. උන් වහන්සේ ඉතා දුරින් පියවර තබන්නේ නෑ. ඉතා ළඟිනුත් පියවර තබන්නේ නෑ. ඉතා වේගයෙන් පියවර තබන්නේත් නෑ. ඉතා සෙමින් පියවර තබන්නේත් නෑ. උන් වහන්සේ වඩින විට සිරුර එහාට මෙහාට සොලවන්නේත් නෑ. බුදුරජාණන් වහන්සේ වඩිද්දී සෙලවෙන්නේ යටිකය විතරයි. උන් වහන්සේ බලද්දී මුළු කය ම හරවා බලනවා. කලබලයෙන් වටපිට බලන්නේත් නෑ. වික්ෂේපයෙන් බලන්නේත් නෑ. විය දණ්ඩක් පමණ දුර පමණක් බලනවා. උන් වහන්සේගේ සාමාන්‍ය බැලීම එසේ වුණත් ඤණ දර්ශනය නම් කිසි දේකින් වැහිලා නෑ.

බුදුරජාණන් වහන්සේ ගමට පිවිසුන විට, දෑතින් නො ගැළපෙන දෙයක් කරන්නෙත් නෑ. පාවලින් නො ගැළපෙන දෙයක් කරන්නෙත් නෑ. නිකටට අත තබාගෙන ඉන්නෙත් නෑ. ඒ වගේ ම උන් වහන්සේ කිසි විටෙක නිදි කිරා වැටෙමින් ඉඳල නෑ. ඈනුම් අරිමින් ඉඳල නෑ. අශෝභන ලෙස මහ හඬින් හිනාවෙලා නෑ. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ රස තෘෂ්ණාවෙන් තොරව නුවණින් විමසමින් ජීවිතය පවත්වා ගැනීම පිණිස පමණක් දන් වැළª සේක. උන් වහන්සේ දන් වළඳා නැවත ආරාමයට වැඩම කොට අසුනෙහි වැඩ හිඳ දෙපා සෝදාගන්නවා. උන් වහන්සේ දෙපා සැරසීමේ අදහසින් සෝදන්නේ නැහැ. පා සෝදාගෙන පළඟක් බැඳ වාඩි වී කය සෘජු කොට තබාගෙන භාවනා අරමුණකට සිහිය යොදවා වැඩහිටිනවා.

බුදුරජාණන් වහන්සේ තමන් හට පීඩා පිණිස සිතන්නේ නැහැ. අනුන් හට පීඩා පිණිස සිතන්නේ නැහැ. දෙපාර්ශවයට ම පීඩා පිණිස සිතන්නේ නෑ. තමන් හට සිත පිණිසත්, අනුන්ු හට හිත පිණිසත්, සකල ලෝක සත්වයාට හිත පිණිසත් උතුම් සිතිවිලි සිතමිනුයි උන් වහන්සේ වැඩ ඉන්නේ. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ පිරිසට ධර්ම කථාවෙන් කරුණු පෙන්වා දෙනවා. සමාදන් කරවනවා. වීරිය ඇති කරවනවා. සතුටු කරවනවා. බුදුරජාණන් වහන්සේ කිසි ම දිනක මොන ම හේතුවක් නිසාවත් බයට පත්වුණේ නෑ. තැතිගත්තේ නෑ. පසුබැස පළා ගියේ නෑ. ඒ, බිය හටගන්නා හේතු උන් වහන්සේ ප‍්‍රහීණ කළ නිසයි. ඒ නිසා උන් වහන්සේ බයක්. තැතිගැනීමක් ඇතිවුණු වෙලාවට බුදුරජාණන් වහන්සේව සිහි කරන ලෙසත් එවිට ඒ බය තැතිගැනීම පහවෙලා යන බවත් තම ශ‍්‍රාවකයන්ට දේශනා කොට වදාළා. උන් වහන්සේගේ ගමන බිමන, කථාබහ, ඉරියව් පැවැත්ම, හැසිරීම ඉතා ම සංවරයි, ශාන්තයි, ප‍්‍රසාදජනකයි. මේ සියලූ කරුණු අයත් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ‘චරණ’ ධර්මයන්ටයි.

ඒ වගේ ම බුදුරජාණන් වහන්සේට පුළුවන් කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප‍්‍රීතිය හා සැපය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්න. හොඳින් දිය ඉස ඉස පිඬුු කරගත්ත නාන සුණු පිෙඬ් හැම තැන ම හොඳින් දිය පැතිරිලා තියෙනවා වගේ උන් වහන්සේ තම මුළු සිරුර ම විවේකයෙන් හටගත් ප‍්‍රීති සැපයෙන් හොඳින් තෙත් කරනවා.

ඒ වගේ ම උන් වහන්සේට පුළුවන් විතර්ක විචාර සන්සිඳවලා, තම සිත තුළ පැහැදීම ඇතිව, සිතේ එකඟ බවින් යුක්තව, විතර්ක විචාර රහිත, සමාධියෙන් හටගත් ප‍්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානය උපදවාගෙන වාසය කරන්න. ගැඹුරු විලක උල්පත්වලින් සීතල දිය දහරා මතුවෙලා ඒ විලේ ජලය මුළුමනින් ම සිහිල් කරනවා වගේ ඒ සමාධියෙන් හටගත් ප‍්‍රීති සැපය උන් වහන්සේ තම මුළු සිරුර පුරා ම පතුරුවනවා.

ඊ ළඟට ඒ ප‍්‍රීතියටත් ඇලෙන්නේ නැතුව උපේක්‍ෂාවෙන් වාසය කරනවා. සිහි නුවණින් යුක්තව කයෙන් සැපයකුත් විඳිනවා. නෙළුම් විලක ජලයේ ම හටගෙන, ජලයේ ම වැඩෙන, ජලයෙන් උඩට මතු නො වුණු, ඒ නෙළුම් පොහොට්ටු මුළුමනින් ම සීතල ජලයෙන් තෙත් වෙලා තියෙනවා වගේ තමන් වහන්සේගේ මුළු සිරුර පුරා ම ඒ ප‍්‍රීතිය රහිත සැපය පතුරුවන්න බුදුරජාණන් වහන්සේට පුළුවන්.

ඊ ළඟට සැප, දුක දෙක ම ප‍්‍රහාණය කරලා සොම්නස් දොම්නස් ඉක්මවා ගිහිල්ලා, පිරිසිදු උපේක්‍ෂා සහගත සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. හිසේ පටන් ම සුදු වස්ත‍්‍රයකින් පොරවාගෙන ඉන්න කෙනෙකුගේ ශරීරයේ සුදු වස්ත‍්‍රයෙන් නො වැසුනු තැනක් නෑ වගේ පිරිසිදු ප‍්‍රභාෂ්වර සිතින් තමන් වහන්සේගේ මුළු ශරීරය ම ස්පර්ශ කරන්නත් උන් වහන්සේට පුළුවන්.

මේ ආකාරයට ඉතා බලවත් ලෙස දියුණු කරන ලද සමාධිමත් සිතක් ඇතිවයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ.

ඒ වගේ ම බුදුරජාණන් වහන්සේට දවස් හතක් වුණත් ආහාර පාන ගන්නෙ නැතුව, වැසිකිළි කැසිකිළි කරන්නේ නැතුව, එක ම ඉරියව්වෙන් වාඩිවෙලා සමාධියට සමවැදිලා වාසය කරන්න පුළුවන්. එයට කියන්නේ ‘නිරෝධ සමාපත්තිය’ කියලයි. අකුණු ගසමින්, මහ හඬින් අහස ගුගුරුවමින් මහා ධාරානිපාත වැසි වසිද්දීත් බුදුරජාණන් වහන්සේට ඒ හඬ නො ඇසෙන ආකාරයේ ශාන්ත වූ සමාපත්තීන්ටත් සමවදින්න පුළුවන්කම තියෙනවා.

ඒ වගේ ම බුදුරජාණන් වහන්සේගේ ප‍්‍රඥව මොනතරම් ද කියනවා නම් උන් වහන්සේ හොඳට ම වයසට ගිහිල්ලා, අසනීප වෙලා ඇඳක සැතපිලා ඉඳිද්දී වයස අවුරුදු සියයක් ආයුෂ තිබෙන ශ‍්‍රාවකයන් හතර දෙනෙක් ඇඳේ හතර කොණේ ඉඳගෙන අවුරුදු සියයක් පුරා ප‍්‍රශ්න ඇසුවත් කිසිදු වෙහෙසක් නොමැතිව, පටලැවීමක් නොමැතිව ඒ සියලූ ප‍්‍රශ්නවලට පිළිතුරු දීමේ හැකියාවක්, එතරම් මහා ප‍්‍රඥවක් දරාගෙනයි බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ. උන් වහන්සේගේ මහා ප‍්‍රඥවේ ආලෝකය මේ හිරු සඳුගේ ආලෝකය පවා අභිබවා යනවා.

එක්තරා අවස්ථාවක දී බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

‘‘මිනිසුන් අතර ගෝත‍්‍ර පිළිවෙළ අනුව ශ්‍රේෂ්ඨ වන්නේ ක්‍ෂත‍්‍රියයායි (රාජවංශිකයායි). විද්‍යාවෙන් හා චරණ ධර්මයෙන් යුතු උත්තමයා දෙව් මිනිස් සියලූ සත්වයන් අතර ශ්‍රේෂ්ඨ වේ.”

දෙව් මිනිස් සියලූ සත්වයන් අතර ශ්‍රේෂ්ඨ වූ උතුම් සීලයෙන්, සමාධියෙන්, ප‍්‍රඥවෙන්, අවබෝධයෙන්, ඤණයෙන් යුතු වූ විජ්ජාචරණ සම්පන්න වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!

‘‘සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නං
විජ්ජාචරණ සම්පන්නං වත සෝ භගවා
තං භගවන්තං විජ්ජාචරණ සම්පන්නං සරණං ගච්ඡුාමි
තං භගවන්තං විජ්ජාචරණ සම්පන්නං සිරසා නමාමි”
——————————————
‘‘මාගේ ස්වාමී වූ
බුදුරජාණන් වහන්සේ
විජ්ජාචරණ සම්පන්න වන සේක…!
විජ්ජාචරණ සම්පන්න වූ
භාග්‍යවතුන් වහන්සේ ව
සාදරයෙන් සරණ යමි…!
භාග්‍යවතුන් වහන්සේට
සිරස නමා වන්දනා කරමි…!”
———————————————–

(මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)

 

 

Viewing all 74 articles
Browse latest View live